ගැටුමක් හේතුවෙන් තුවාල ලබා පලා යමින් සිටි පුද්ගලයකු ගමන් කරමින් සිටි කාර් රථයක් ජා-ඇල නගර මධ්‍යයේ දී අනතුරකට ලක් වීමෙන් පසු රථය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී පකිස්ථානයේ නිශ්පාදිත එම්. පි 5 වර්ගයේ රන් ආලේපිත ගිනි අවියක් සොයා ගත් බව ජා-ඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් බාලසූරිය මහතා ප්‍රකාශ කළහ.
ඉකුත් 11දා අළුයම 3.30 ට පමණ කුඩා කාර් රථයක් ජා-ඇල නගර මධ්‍යයේ කොළඹ කටුනායක අධිවේගී පිවිසුමට ආසන්නයේ දී පාරෙන් ඉවතට පැන අනතුරකට ලක්වී තිබේ. එම අවස්ථාවේ ජා-ඇල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් පැමිණ කාර් රථය පරික්ෂා කිරීමේදී කැපුම් තුවාල සහිතව කාර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු සුවසැරිය ගිලන් රථය මගින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
අනතුරුව පොලිස් නිලධාරීන් කාර් රථය පරීක්ෂා කිරීමේදී රන් ආලේපිත ගිනි අවිය සොයා ගැනීමට හැකි වු බව පොලිසිය පැවසීය. පොලිසය විසින් කරනු ලැබූ වැඩි දුර විමර්ශන කටයුතු වලදී අනාවරණය වී ඇත්තේ පුද්ගලයින් කිහිප දෙනෙක් රාගම ප්‍රදේශයේ දී මත් පැන් පානය කර 11දා අළුයම 1.00ට පමණ කටුනායක පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් එහි ආරක්ෂක නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගෙන ඇති බවයි.
පසුව ඔවුන් රාගම ප්‍රදේශයේ ට පැමිණ අදාළ ගිනි අවිය රැගෙන පෙර සමාජ ශාලාවට ගොස් එහි ආරක්ෂක නිලධාරීන් බිය ගැන්වීම ට ගිනි අවිය එල්ල කල අවස්ථාවේදී එහි සිටි ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට බෝතල් වලින් පහරදී ඇති බවයි. පසුව අතෙහි බරපතල කැපුම් තුවාල සහිතව ආපසු එමින් සිටියදී කාර් රථය මෙලෙස අනතුරට මුහුණ දී ඇත.
ගිනි අවිය සොයා ගැනීමෙන් පසුව පොලිසිය කල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ එම ගිනි අවිය විශ්‍රාමික නාවික හමුදා නිලධාරිවරයකුට පකිස්ථානයෙන් ත්‍යාග වශයෙන් ලැබූ ගිනි අවියක් බවයි. සිද්ධිය සම්බන්ධ සැකකරුවන් තුවාල ලබා මේ වනවිට රාගම හා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන කටයුතු උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ජා-ඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් බාලසූරිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කරනු ලබයි.