හිටපු ඇමති ජගත්ගේ බිරිඳගේ මරණයට විවෘත තීන්දුවක්
හිටපු කැබිනට් අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මියගේ මරණය සම්බන්ධයෙන් ගාල්ල ජාතික රෝහලේදී අද (20) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබේ.
ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී මධුවන්ති ජයසිංහ මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර, මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ නොකර විවෘත තීන්දුවක් ලබාදී ඇත.
55 හැවිරිදි දෙදරු මවක වූ දේශානි ගුණරත්න මහත්මිය පසුගිය 14 වැනිදා තණමල්විල ප්‍රදේශයේ ඔවුන්ට අයත් ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක දෙවැනි මහලෙන් ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා තිබිණි.
ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුරින් පසු ඇය තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලටත්, පසුව කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරු කර එවා තිබිණ.
කරාපිටිය රෝහලේදී ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ශල්‍යකර්ම කිහිපයක් සිදුකර දැඩි ප්‍රතිකාර ලබාදී තිබූ අතර, පසුගිය 18 වැනිදා රාත්රියේදී ඇය මියගොස් තිබිණි.
මරණය සම්බන්ධයෙන් මොණරාගල අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කර ඇති අතර, වැල්ලවාය මහේස්ත්‍රාත්වරිය විසින්ද එහි මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා තිබේ.
ඇය මියගියේ ගාල්ල ජාතික රෝහලේදී වීම හේතුවෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ ඉදිරි කටුයුතු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැවරුනු අතර ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් සොමසිරි උඩුවැල්ල මහතා කරාපිටිය රෝහලට පැමිණ ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබූ දේහය පරීක්ෂා කර පශ්චාද් මරණ පරීක්ෂණය සඳහා නියෝගය ලබාදුන් අතර එම වාර්තාව ලැබීමෙන් පසු භූමදානය සඳහා දේහය ඥාතීන්ට නිදස් කරන ලෙස ද නියෝග කළාය.
දේශානි මහත්මිය ඇද වැටුණු ආකාරය කිසිවකු දැක නොතිබීම සහ සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ අවධානයක් ඇතිවීම හේතුවෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගත් බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිරංගිකා ලොකුකරවිට

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
