හැමිල්ටන් ඇළ මාර්ගය භාවිතා කරමින් සංචාරයක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙන්ම යළිත් ප්‍රවාහන හා මගී ප්‍රවාහන කටයුතු සිදු කිරීමේ හැකියාව සොයා බැලීම පිනිස පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
ගම්පහ දිස්ත්‍රික්කයට ඇති මහගු සම්පතක් වන මෙම ඇළ මාර්ගය පැති කිහිපයකින්ම වැදගත් වන බැවින් විශේෂයෙන්ම පළමු අදියර යටතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට යොදා ගැනීම රජයේ අරමුණවී ඇති බවත් පසුව භාණ්ඩ සහ මගී ප්‍රවාහන සදහා ඇළ මාර්ගය භාවිතා කිරීමෙන් කොළඹ - මීගමුව මාර්ගයේ පවතින තදබදයටද විසදුමක් ලබා ගැනීමට අදහස් කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
හැමිල්ටන් ඇළ මාර්ගය ආරම්භ වන කොළඹ , මෝදර ප්‍රදේශයේ සිට මීගමුව දක්වාත් පසුව හලාවත දක්වාත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සදහන් කළ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා , ඉදිරියේදී විදේශ හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් වැඩි දුර සාකච්ඡා කෙරෙන බවත් පැවසීය.
පසුගියදා සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ස්ටෙෆ්නි ප්‍රනාන්දු ,චම්පික හෙට්ටිආරච්චි, ධම්මික , වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති බ්‍රිහාන් ආබ්ඩීන් යන මහත්වරුන් සහ සංචාරක අමාත්‍යාංශයේ හා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මෙම හැමිල්ටන් ඇළ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී ලබාගත් තොරතුරුවලට අනුව අතීතයේදී කොළඹ, මෝදර ප්‍රදේශයේ සිට මීගමුව , හලාවත දෙසට භාණ්ඩ ප්‍රවාහනය කිරීම මෙම ඇළ මාර්ගය ඔස්සේ සිදු කොට ඇති බව සදහන්ය.
ඕලන්ද ජාතිකයින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ සමයේ ඔවුන්ගේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය කොළඹ නගරය වීම මත කුරුඳු වෙළඳාම මගින් අධික ලාභයක් උපයා ගත් ඔවුන් තම වෙළඳ භාණ්ඩ පිට පළාත් වලින් කොළඹට ගෙන ඒමට ඇල මාර්ග කීපයක් නිර්මාණය කොට ඇති අතර ඒ අතුරින් එකක්වූ හැමිල්ටන් ඇළ හෙවත් ඕලන්ද ඇල (Dutch Canel) වේ.
මෙම ඇළ මාර්ගය කැළණි නදිය මුහුදට වැටෙන කොළඹ මෝදර ප්‍රදේශයේ සිට දිවයිනේ වයඹ ප්‍රදේශය දක්වා දිව යන ඇළ මාර්ගයක් වන අතර ඕලන්ද ජාතිකයින් කල්පිටිය, පුත්තලම, මීගමුව ආදී ප්‍රදේශ වලින් එකතු කොටගත් කුරුඳු සහ පුවක් වැනි වෙළඳ ද්‍රව්‍ය කොළඹ දක්වා රැගෙන ඒම සිදු කොට ඇත්තේ මෙම ඇළ මාර්ගයෙන් බව සදහන්ය.
පසු කලෙකදී ඉංග්‍රීසි ජාතිකයින්ගේ පාලනයට ශ්‍රී ලංකාව පත්වීමත් සමග මෙම ඇළ මාර්ගය නැවත සංවර්ධනය කොට තිබෙන බවත් සදහන්ය.
මෙම ඇලට හැමිටන් ඇළ යන නාමය ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවේ යටත් විජිත දේශීය ආදායම් සහ වාණිජ කටයුතු බාර නිලධාරිවරයා වශයෙන් සිටි ගැවින් හැමිල්ටන්ගේ අධීක්ෂණය යටතේ සිදුවූ ප්‍රතිසංස්කරණ වලට ලක්වීමෙන් පසුව බව පැවසේ.