හැඳල ලාදුරු රෝහල සංචාරක කලාපයක් කිරීමට අවධානය
වත්තල – හැඳල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික ලාදුරු රෝහල සංචාරක කලාපයක් හා ආකර්ෂණය සහිත කෞතුකාගාරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.
ඕලන්ද යටත් විජිත සමයේ ඉදිකරන ලද මෙරට ප්‍රථම විශේෂිත ලාදුරු රෝහල ලෙස සැලකෙන මෙම රෝහල වසර සියගණනක ඉතිහාසයකට හිමිකම් කියයි. දිගු කාලයක් පුරා පෞරාණික ගොඩනැගිලි සහ උපකරණ සඳහා නිසි සංරක්ෂණයක් නොලැබීම හේතුවෙන් ගොඩනැගිලි ගරාවැටී ඇති අතර, වටිනා ඓතිහාසික උපකරණ රැසක්ද දිරාපත් වෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇත.
ලාදුරු රෝගය වර්තමානයේ සාර්ථකව ප්‍රතිකාර කළ හැකි රෝගයක් බවට පත්ව ඇති අතර, අනාගතයේදී මෙම රෝහලේ නේවාසික ප්‍රතිකාර අවශ්‍යතාව අඩුවීම සැලකිල්ලට ගනිමින් එය කෞතුකාගාරයක් සහ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ. රෝහල තුළ පවතින ඓතිහාසික ගොඩනැගිලි සහ පැරණි යන්ත්‍රෝපකරණ කෞතුක වටිනාකමකින් යුක්ත බැවින් ඒවා සංරක්ෂණය කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බව ද අවධාරණය කෙරේ.
මෙම කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් පසුගියදා රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
එහිදී ඕලන්ද යුගයට අයත් පැරණි ගොඩනැගිලි, 1939 වසරේදී එංගලන්තයේ නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවේ භාවිතයට ගෙන ආ ප්‍රථම රෙදි සෝදන යන්ත්‍රය ලෙස සැලකෙන යන්ත්‍රය, මෘතශරීර ප්‍රවාහනය සඳහා භාවිතා කළ දැවමය කරත්ත ඇතුළු කෞතුක වටිනාකමක් සහිත උපකරණ රැසක් ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

