පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කිරීමට නායකත්වය දුන් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ මහනුවර ප්‍රදේශයේ දේශනවලට සහභාගී වූ බව කියමින් අත්අඩංගුවට ගත් මොහොමඩ් අසීෆ් ආබ්දීන් නැමැත්තා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මුදාහළ බව නීතිපතිවරයා අද (06) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ මහනුවර ප්‍රදේශයේ දේශනවලට සහභාගී වූ බව කියමින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් සැකකාර මොහොමඩ් අසීෆ් ආබ්දීන් නැමැත්තා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැදවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශ්රමින්ද වික්‍රම මහතා එලෙස දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවන ලැබීය.
පෙත්සම කැඳවන ලැබු අවස්ථාවේදී ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය අමතමින් සැකකරු පසුගිය සැප්තැම්බර් පළමුවැනිදා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් මුදා හැර ඇතැයි කීය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කරුණු දක්වමින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද? නැද්ද? යන්න දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලු අධිකරණය පෙත්සම යළි කැඳවන නොවැම්බර් 21 වැනිදා ඒ බව දැනුම් දීමට නියම කළේය.