- මිනිසුන් බළාපොරොත්තුවෙන සිස්ටම් චේන්ජ් එක සිදුකළ හැක්කේ පෙරළා මිනිස්සුන්ට සේවය කිරීමෙන්ම පමණයි...
- ජනතාවට මුල්තැනදී තම සේවය නිවැරදිව සිදු කිරීමට රාජ්‍ය නිළධාරීන් කැපවී වැඩ කළ යුතුයි...
මිනිසුන් බළාපොරොත්තුවෙන සිස්ටම් චේන්ජ් එක සිදුකළ හැක්කේ පෙරළා මිනිස්සුන්ට සේවය කිරීමෙන්ම පමණක් යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එබැවින් ජනතාවට මුල්තැනදී තම සේවය නිවැරදිව සිදු කිරීමට රාජ්‍ය නිළධාරීන් කැපවී වැඩ කළ යුතුයැයිද ඔහු කීය.
නාගරික සංවර්ධන අධිකාරියේ නව සහකාර අධ්‍යක්ෂකවරුන් 55 දෙනෙකු සඳහා උසස්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට අද (30) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැති එම උත්සවයේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරිය කියන්නේ කෙලින්ම මිනිස්සු එක්ක සම්බන්ධවෙලා කටයුතු කරන රටේ සංවර්ධනයට කෙලින්ම වගකියන ආයතනයක්. ඒක නිසා මිනිස්සු රස්තියාදු නොකර ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරන්න උසස්වීම් ලබන මේ සියලුම නිළධාරීන් දැඩිව සිතට ගන්න ඕන. මොකද නිළධාරීන් වැඩ නොකරනවිට බැණුම් අහන්නේ දේශපාලනඥයන්. මිනිස්සු නිළධාරීන්ට බණින්නෙ නැහැ. මම ඒ තත්ත්වයට වැටෙන්න සූදානම් නැහැ. නිළධාරීන් පස්සේ නොගියට මේ ආයතනයේ වෙන හැම දෙයක් ගැනම මම දන්නවා. ඒ නිසා වැඩ කරන්නේ කවුද? වැඩ නොකරන්නෙ කවුද කියන දේ ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා.
පහුගිය කාලයේදී මේ ආයතනයේ සිදුවුණ යම් යම් දේවල් නිසා නාගරික සංවර්ධන අධිකාරිය ගැන මිනිස්සුන්ගෙ හිතේ තියෙන්න වැරදි චිත්‍රයක්. අපි ඒ වැරදි චිත්‍රය මකන්න ඕන. ඒක කරන්න පුළුවන් ලේසිම විදිය තමයි වැඩ කරන එක. මේ උසස්වීම් ලබන නිළධාරීන්ගෙන් මම අවංක සේවයක් බළාපොරොත්තු වෙනවා. ඒක පැය 8 කට ලඝු කරන්න එපා. මිනිස්සු සනසවමින් රටක් සංවර්ධනය කරන්නෙ කොහොමද කියල අපි කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා කරන්න ඕන.
නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂකවරුන් වශයෙන් නිළධාරීන් පත්කරන්න සම්මුඛ පරීක්ෂණයට මම කිසිම බළපෑමක් කළේ නැහැ. ඒ වගේම කිසිම ආයතනයේ ඉහළ මට්ටමින් එල්ල වෙන්න මම ඉඩ තිබ්බෙත් නැහැ. මේක බොහෝම ස්වාධීනව සිදුවුණ සම්මුඛ පරීක්ෂණයක්. අපි කවුරුත් දන්නවා මේ මොහොතේ රට දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දීල තියෙන්නේ. එවැනි මොහොතකද රජයේ ආයතනකට අලුතින් උසස්වීම් දෙනව කියන්නෙම ලොකු අවධානමක්. නමුත් මම අමාත්‍යවරයා විදියට ඒ අවධානම ගත්තා. මිනිස්සු ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. ඒ වේන්ජ් එක කරන්න පුළුවන් පෙරළා මිනිස්සුන්ට වැඩ කිරීමෙන් පමණයි. මම ඔබෙන් බළාපොරොත්තු වෙන්නේ වැඩ විතරයි. ඔබ නිවැරදිව ක්‍රියා කලොත් ඔබ රකින්න මම ඉදිරිපත්වෙනවා. වැරදි වැඩ කරල සමාව ඉල්ලගෙන මගේ පස්සෙන් එන්න එපා. ඒක නිසා “ ජනතාවට මුල්තැන දීලා” වැඩ කරන්න පුරුදු වෙන්න කියල මම ඔබෙන් ඉල්ලනවා යැයිද පැවසීය.