'හරිත වැලි තොටුපොළ' සංකල්පය යටතේ ක්‍රියාත්මක නොවන සියලු තොටුපොළ හිමියන්ට විරුද්ධව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කර, ඔවුන්ගේ වැලි කැණීම් බලපත්‍ර අහෝසි කරන බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා අවධාරණය කරයි.
සභාපතිවරයා සඳහන් කර සිටියේ ගං ඉවුර සුරකිමින් පරිසර හිතකාමී ලෙස වැලි කැපීම සඳහා හඳුන්වා දුන් මෙම සංකල්පය පිළිබඳ තමන් ජනාධිපතිවරයා සමගින් වැඩිදුරටත් සාකච්ඡා කළ අතර,වැඩසටහන සඳහා පසු විපරම් යාන්ත්‍රණයක් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරනු ලබන බවයි.
ඒ අනුව, වැඩසටහන සඳහා ජනාධිපතිවරයාගේ පූර්ණ සහයෝගය ලැබෙන බවත්, මෙම වසර අවසාන වනවිට දිවයින පුරා පිහිටි වැලි තොටුපොළවලින් 'හොඳම වැලි තොටුපොළ' තෝරා ත්‍යාග පිරිනැමීමට කටයුතු කෙරෙන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියි.
මේ අතර 'හරිත වැලි තොටුපොළ' සංකල්පය පිළිබඳ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පෙරේදා (01දා) තුල්හිරිය මාස් ෆැබ්රික් පාර්ක්හිදී පැවැත්විණි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ මේ වැඩමුළුව සඳහා සියලුම ප්‍රාදේශිය කාර්යාල නියෝජනය කරමින් නියෝජිතයන් පැමිණ සිටි අතර, එහිදී හරිත වැලි තොටුපොළ සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කෙරිණි.
'හරිත වැලි තොටුපොළ' සංකල්පය යටතේ ගංගාවේ සිට ගංඉවුරේ අඩි 10ක පමණ ප්‍රදේශයක් හරිත කලාපය ලෙස නම් කෙරෙන අතර, එය වනරෝපණයකින් යුක්ත වේ. ඒ හරහා වැලි තොටුපොළවෙත ගමන් කිරීම සඳහා අඩි 03ක මාර්ගයක් සකස් කෙරෙන අතර,එහිදී ගංගාව මතට ට්‍රැක්ටර් බැස්වීමක් සිදු නොවේ.
එසේම, කූඩ යොදාගනිමින් අඩි 10 සීමාව ඉක්මවන තෙක් වැලි රැගෙන ආ යුතුය.අනතුරුව වීල්බැරෝවක් ආධාරයෙන් වැලි පටවන ස්ථානයට රැගෙන ආ යුතු වන අතර, වැලි ගොඩදැමීම සඳහා යොදාගන්නා බෝට්ටු, එන්ජින් රහිත බෝට්ටු විය යුතුය.
මෙම සංකල්පයේ අධීක්ෂණ කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර වෘත්තිකයන්ගේ සංගමයේ එකතුව මගින් සිදු කරනු ලැබේ.
