හරිත කෘෂි කර්මාන්තයට යොමුවීමේදී ගොවීන්ට මුහුණ දීමට සිදු වූ සියලු අඩුපාඩු මඟහරවා ගෙන ඉදිරි කන්නයේ දී ගොවීන් අපහසුතාවයට පත් නොවන අයුරින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඊයේ (22දා) මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව අවධාරණය කළ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .
“ගොවීන්ට සිදුවූ වගා හානි වෙනුවෙන් ගොවීන්ට ගෙවන මුදල සහ වී මිල සම්බන්ධව කැබිනට් මණ්ඩලය මගින් මේ සතියේ දී තීරණයක් ගැනීමට නියමිතයි. හරිත කෘෂිකර්මාන්තයට යන්න රජය තීරණය කළේ පසුගිය මහ කන්නයේ දී.
එහි දී අඩුපාඩු ගණනාවක් ඇති වුණා . නියම වෙලාවට ගොවීන්ට පොහොර ටික ලබා දෙන්න අපිට බැරිවුණා. කොවිඩ් වසංගතයත් එක්ක නිලධාරීන්ට ගොවීන් දැනුවත් කිරීම හරි විදියට කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ අඩුපාඩුකම් නිසා ගොවීන් යම් අපහසුතාවයකට පත්වන බව අපි පිළිගන්නවා.
ඉදිරි යල කන්නයේ දී සියලු අඩුපාඩු මඟහරවා ගනිමින් නියමිත වේලාවට ගොවීන්ට පොහොර ලබා දෙනවා . ගොවීන් අපහසුතාවයකට පත් නොවන ආකාරයට එම කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා.
මෙවර වී නිෂ්පාදනයේ බොල් වී ප්‍රමාණය අඩුයි. එය ගොවීන්ට වාසිදායක තත්ත්වයක්. දිස්ත්‍රික්ක වශයෙන් ගත්විට වී නිෂ්පාදනයේ දී අඩු වැඩි වීම එකිනෙකට වෙනස් . ගම්පහ දිස්ත්‍රික්කය ගත්විට වී නිෂ්පාදනය අඩුවීම 10% ත් 15% ත් අතර අගය තිබෙන්නේ. කුරුණෑගල ගත්තොත් 20% ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ 25% ක අඩුවීමක් තිබෙනවා . සමස්තයක් වශයෙන් ගත් විට 25% - 30% අඩුවක් අපිට පෙනෙන්න තිබෙනවා .
හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් ආනයනය කරන්න රජය තීරණය කළා. මේ නිසා වී මිල පහත වැටෙයි කියලා යම් බියක් තියෙනවා. ගොවියාට කිසිදු අසාධාරණයක් නොවන ලෙස සාධාරණ මිලකට වී මිළදි ගන්න වී අලෙවි මණ්ඩලය පියවර ගෙන තිබෙනවා”