මාලදිවයිනේ හිටපු ජනපති මෙන්ම වත්මන් එරට පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් නසීඩ් මහතා තමන්ට පැවැසූ බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කළ ප්‍රකාශය අසත්‍ය බව මොහොමඩ් නසීඩ් මහතා පවසයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විදෙස් සහාය ලබාගැනීම වෙනුවෙන් මොහොමඩ් නසීඩ් මහතා පත්කර ඇති අතර ඔහු සඳහන් කළ බව පවසමින් පසුගියදා පැවැති වැඩසටහනකදී හර්ෂද සිල්වා මහතා කළ ප්‍රකාශයක් ආන්දෝලනයට තුඩු දුන්නේය.
මෙහිදී හර්ෂ ද සිල්වා මහතා පැවැසුවේ ලංකාව වෙනුවෙන් උපකාර ලබාදෙන ලෙස නසීඩ් මහතා සෞදියේ රජකුමාර මොහොමඩ් බිල් සල්මාන්ගෙන් හා ඩුබායි පාලකයාගෙන් ඉල්ලීම් කළත් ඔවුන් දෙදෙනා ප්‍රතික්ෂේප කළ බව නසීඩ් තමන්ට පැවැසූ බව හර්ෂද සිල්වා මහතා පැවැසීය.
කෙසේ වෙතත් එය ප්‍රතික්ෂේප කරමින් ට්විටර් පණිවිඩයක් යොමුකරන නසීඩ් පවසන්නේ එම ප්‍රකාශය අසත්‍ය බවයි.
"හර්ෂ ද සිල්වා දිගුකාලීන මිතුරෙකු වන අතර අපි නිතර හමුවෙමු. මම නිතරම ඔහුගේ ඇසුර භුක්ති විඳින්නෙමි. මෙම පුවත්පත් කතාව නිවැරදි නොවේ. රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට උදව් කිරීමට කැමැත්තෙන් සිටින අතර, එම ආධාර ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි." යැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
