කෘෂිකර්මය විනාශ කිරීම වසා ගැනීමට ගුවනින් ගෙන්වන පොහොර භාර ගැනීමට ඇමතිවරු යන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බවත් එය කණගාටුදායක කරුණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (21දා) පැවති පොහොර පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර පරීක්ෂණ වලින් අහිතකර බවට සනාත වීම හේතුවෙන් පසුගියදා හරවා යවනු ලැබූ චීන පොහොර රැගත් නෞකාව සිංගප්පූරුවේ සිට නැවත මෙරටට පැමිණෙමින් තිබෙන බව සඳහන් කළ රංජිත් මද්දුමබණ්ඩාර මහතා,
“රටේ ගොවිජනතාව විශාල අර්බුදයකට පත්වෙලා තිබෙනවා. තමන්ගේ ගොවිතැන කරනවාද නැද්ද කියන අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ. වී ගොවියා, එළවලු ගොවියා, තේ රබර් පොල් වවන ගොවියා අද තමන්ගේ ගොවිතැන අත්හරින තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
මෙරට ඉතිහාසයේ පළවෙනි වරට මේ රටේ ගොවියෝ කුඹුරේ ඉදලා පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ආණ්ඩුවේ කන තාම ඒ දෙස යොමු කරලා නෑ. ගොවියා කියන්නේ මේ රටේ ජනතාවගෙන් 25%ක්.
මේ ආණ්ඩුව රසායනික පොහොර තහනම් කරලා ගැසට් එකක් ගැහුවා. දැන් ගේනන හදන්නේ කාබනික පොහොර. චීනයෙන් මේ කාබනික පොහොර ගෙන්න කටයුතු කරනවා. ලංකාවේ ශාක නිරෝධායන මධ්‍යස්ථානය දෙසරයක් මේක බලලා කිව්වා මේ පොහොර සුදුසු නෑ කියලා. මේකේ තිබෙන බැක්ටීරියා නිසා අපේ වගාවට හානි සිදුවෙනවා. මේක අසූචි වලින් එන්නේ. ඒ නැව ආපසු හරයා යැව්වා. දැන් ඒ නැව ආපසු එනවා. දැන් දවස් කිහිපයකට කලින් සිංගප්පූරුවෙන් පිටත් වෙලා. දැනටමත් ඔබතුමන්ලා ඒ නැවට එල්.සී නිකුත් කරපු එකේ ලියවිලි තිබෙනවා.
කරුණාකරලා මේ වගාව විනාශ කරන්න එපා. තමුන්නාන්සේ ඉතිහාස ගතවෙයි කෘෂිකර්ම සංවර්ධන ඇමති නෙවෙයි කෘෂිකර්ම විනාශ කරපු ඇමති කියලා. මේවා නිසා ගොවීන්ගේ ආදායම අහිමි වෙලා තිබෙනවා. මම යෝජනා කරනවා රජයට කරුණාකරලා මේකට වන්දි ගෙවන්න. දැන් නැනො දියර නට්රජන් එකක් ගේනවා. දැන් ඇමතිවරුන්ගේ රස්සාව වෙලා ගුවනින් එන පොහොර ගිහින් භාර ගන්න එක. කරපු වැරද්ද හරිගස්ස ගන්න මේවා කරන්නේ. කණගාටුදායක කරුණක්.”යනුවෙන් සඳහන් කළේය.