දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කල තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන අපේ‍්‍රල් මස 24 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (12) නියම කළේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අයවැය විවාදයට සහභාගී වන බව සඳහන් කරමින් පාර්ලිමෙන්තු මහලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියක් මඟින් කළ දැනුම් දීමක් සළකා බලමින් නඩු විභාගය වෙනත් දිනයකට කල් තැබීමට විනිසුරුවරයා එලෙස නියම කළේය.
ඒ අනුව අද සහ හෙට (12 සහ 13 වැනි දිනවල) පැවැත්වීමට නියමිතව තිබු විභාගය අවලංගු කිරීමටද විනිසුරුවරයා පියවර ගත්තේය.
2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්විමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඩන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
සිද්ධිය වී මාස හතක් වැනි කාලයක් තුළ චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් දස දෙනෙකු මෙන්ම ලේඛණ කිහිපයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතීපතිවරයා විසින් දැනුම් දී ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් ආරක්ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඩුවම් සහ රුපියල් 1,65,000ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000 වන්දියක් ගෙවීමට නියම කෙරිණි.
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබිණි.