රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා නමැත්තා රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ නම් අධිකරණයෙන් අවසර ගත යුතු බවට අභියාචනාධිකරණය රහස් පොලීසියට අද (17දා) නියම කළේය.
අත්අඩංගුවේ පසුවන සිය පුත්රයාට පනවා ඇති රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හරක් කටාගේ පියා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එලෙස නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා අදාළ නියෝගය නිකුත් කළේය.නඳුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ පියා වන නෙල්සන් වික්රමරත්න ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නම් කර ඇත.අත්අඩංගුවේ පසුවන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා නමැති තම පුත්රයාට පනවා ඇති රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි සිය පෙත්සමෙන් ඉල්ලීමක් කරඇත.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා හරක් කටා නමැත්තා රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම් කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් සහ අභියාචනාධිකරණයෙන් අවසර ගැනීමට නියම කළේය.පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියම කළ විනිසුරුවරයා පෙත්සම ලබන 30 වැනිදා යළි කැඳවීමට ද නියම කළේය.