සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු වෙහෙය වූ පුද්ගලයා (31) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල රණාල බටේවෙල ප්‍රදේශයේ පදිංචි (33) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.
මොහු පරිගණක විද්‍යාව පිළිබඳව ඉංජිනේරුවරයකු වන අතර හංවැල්ල රනාල ප්‍රදේශයේ කොමිනිකේෂන් ආයතනයක් පවත්වාගෙන යමින් හරක් කටා නැමැත්තාගේ මුදල් ජාවාරමට සම්බන්ධ වී කටයුතු කර ඇතැයි පැවසේ.
මීට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා ව්‍යාජ චෙක්පත් දී රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසේ.
ඒ අනුව කොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයෙකු රවටා ව්‍යාජ චෙක් පතක් දී රුපියල් ලක්ෂ10 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතාට ලද තොරතුරකට අනුව සැකකරු නවගමුව රනාල ප්‍රදේශයේ කොමිනිකේෂන් ආයතනයක් තුළ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුගේ ජංගම දුරකථනය හා බැංකු කාඩ් පත පොලිස් භාරයට ගෙන තිබේ .
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් ගනුදෙනු අන්තර්ජාලය හරහා මෙහෙය වූ පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වූ බවත් ඒ වෙනුවෙන් මොහුට අධික වැටුපක් ගෙවා ඇති බව තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.
මීට අමතරව කොට්ටාව පොල්ගහවෙල හොරොව්පතාන රත්නපුර මිනුවන්ගොඩ වරකාපොල සහ කැබිතිගොල්ලෑව යන ප්‍රදේශවල පුද්ගලයින් රවටා ව්‍යාජ චෙක්පත් දී රුපියල් කෝටියකට අධික මුදල් වංචා කිරීමේ සිද්ධින් රැසක තොරතුරු අනාවරණය වූ බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණය මග හැරීම නිසා කොට්ටාව රත්නපුර සහ හොරොව්පතාන යන පොලිස් වසම් වලින් විවෘත වරෙන්තු 07 ද මිනුවන්ගොඩ පොල්ගහවෙල සහ වරකාපොල යන පොලීසි වලින් දින වරෙන්තු 03 නිකුත් කර ඇති බව ද පැවසේ.
මීට අමතරව සැකකරුට අයත් නවගමුව රනාල ප්‍රදේශයේ පිහිටි කොමිනිකේෂන් ආයතනය තුළදී හා රත්නපුර ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු රවටා ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අධිකරණය මඟ හරිමින් සිටි පුද්ගලයෙකි.
සැකකරු මෙම ජාවාරම් සඳහා ව්‍යාජ නම් හතරක් භාවිතා කර ඇති අතර නො 369, කාසිංගම, තිස්සමහාරාමය හා නො 26 / 05 ගලවිල පාර මාලපල්ල හෝමාගම යන ලිපිනයන් දෙක භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට 31 ඉදිරිපත් කිරිමට නියමිත අතර සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් පවත්වති.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න