ලබන මාස් කන්නයේ දී වගාවට අවශ්‍ය බඩඉරිඟු බීජ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පොලොන්නරුව කන්දකාඩු ගොවිපළේ අක්කර 100ක බීජ බඩඉරිඟු මේ වනවිට වගා කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා කන්දකාඩු ගොවිපොළට ගොස් මෙම බීජ බඩඉරිඟු වගාව නිරීක්ෂණය කළේය. එහි දී එම වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නම් යුරියා පොහොර අවශ්‍ය බව යුද හමුදා නිලධාරින් අදහස් පළ කළේය. ඒ සඳහා විසඳුම් ලබා දෙමින් වහාම එකී වගාවට අවශ්‍ය යුරියා පොහොර සැපයීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දුන්නේය.
කන්දකාඩු ගොවිපොළේ අක්කර 10,000ක් පමණ තිබෙන අතර ඉන් අක්කර 3000ක් ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. මීට අමතරව පුනරුත්ථාපන අධිකාරිය විසින් කන්දකාඩු ගොවිපොළ අසන්නයේ පවත්වාගෙන යන කඳවුරේ ශ්‍රමය භාවිතා කරමින් ඔවුන් මගින් ද බඩඉරිඟු වගා කිරීම සඳහා හෙක්ටෙයාර් 250ක් ලබා දීමට කටයුතු කර ඇත.
කන්දකාඩු යුධ හමුදා කඳවුර විසින් අක්කර 100ක පමණ සාර්ථක මිරිස් වගාවක් ද මේ වනවිට ආරම්භ කර ඇත.
ලබන මාස් කන්නයේ දී ඉඩම් හෙක්ටෙයාර් 60,000ක සත්ව ආහාර සඳහා බඩඉරිඟු වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. එහෙත් මේ වනවිට පවතින ගැටළුව නම් ප්‍රමාණවත් තරම් බඩඉරිඟු බීජ නොතිබීමයි. දැනට අප සතුව පවතින බඩඉරිඟු බීජ ප්‍රමාණය සෑහෙන්නේ හෙක්ටෙයාර් 50,000කට පමණි. එමනිසා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මහ කන්නයේ වගාව සඳහා අවශ්‍ය බඩඉරිඟු බීජ ලබා ගැනීම සඳහා අක්කර 100ක බඩඉරිඟු වගා කිරීම සම්බන්ධව අමාත්‍යවරයා එම නිලධාරින්ට තම කෘතඥතාවය පළ කළේය.
දිවයිනේ සත්ව ආහාර නිෂ්පාදන හිඟය මේ වනවිට කුකුළු මස්, බිත්තර හා දියර කිරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇත. දැනට පවතින තත්ත්වය අනුව බඩඉරිඟු, සෝගම් වැනි සත්ව ආහාර නිෂ්පාදන සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනය කිරීමට ද හැකියාවක් නැත. එයට හේතුව ඩොලර් හිඟයයි. එම නිසා බඩඉරිඟු බීජ අප රට තුළම නිපදවා ගැනීම මගින් ලබන මහ කන්නයේ දී හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කිරීමට පියවර ගැනීම මත සත්ව ආහාර හිඟය පාලනය කිරීම අපේක්ෂාව බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.