මඩකලපුව වාලච්චේන පොලිස් වසමට අයත් පූනානි ප්‍රදේශයේ පිහිටා ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය හෙවත් ෂරියා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන දැනට යුද හමුදාව භාරයේ ඇති එම විද්‍යාලයේ පරිගණක හයක් සහ සිවිලිං ලයිට් අසූවක් සොරකම් කරමින් පලායමින් සිටියදී යුද හමුදා කෝප්රල්වරයෙකු සහ ත්‍රීරෝද රථ රියදුරෙකු අද (10) අළුයම, අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
යුධ හමුදා සහ පොලිස් මාර්ග බාධකයක් පසුකරගෙන ත්‍රීරෝද රථයකින් මෙම භාණ්ඩ සොරාගෙන යමින් සිටියදී වැලිකන්ද කඩවත්මඩුව පොලිස් මාර්ග බාධකයදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය පවසයි.
තිස්පස් හැවිරිදි යුද හමුදා කෝප්‍රල්වරයා හත්වන වන ගැමුණු හේවා බලකාය නාවල්අඩි යුදහමුදා කඳවුරේ සේවය කරන බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය සඳහන් කරයි. සැකකාර කෝප්‍රල්වරයා පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකුවේ.
කුලියට ගත් ත්‍රීරෝද රථයකින් , යුද හමුදා කෝප්‍රල්වරයා මෙම පරිගණක සහ සිවිලින් ලයිට් කදුරුවෙලට ගෙන ගොස් එතැන් සිට බස් රථයකින් කොළඹ දක්වා රැගෙන යාමට සැලසුම් කර ඇති බවද පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය කියයි.
ත්‍රීරෝද රථ හිමිකරු වැලිකන්ද කඩවත්මඩුව ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි පුද්ගලයකු වන අතර මෙම සැකකරුවන් සහ අදාළ නඩු භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකන්ද පොලිස් ස්ථානය මඟින් වාලච්චේන පොලිසියට භාරදීමට නියමිතව ඇතැයි වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසුමකදී පැවසීය.
වැලිකන්ද පොලිස් බල ප්‍රදේශයට විශේෂ රාජකාරි සඳහා පැමිණි පොලොන්නරුව කොට්ඨාස මහා මාර්ග යතුරුපැදි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් සහ අදාල භාණ්ඩ අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පොලොන්නරුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාගේ මෙහෙයවීමෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු විශේෂ රාජකාරි සඳහා පැමිණි පොලිස් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.
