පූනෑව නාවික හමුදා කඳවුරේ කැප්ටන් වරයෙකු ලෙස ව්‍යාජ රංගනයක යෙදී, කදවුර තුළ ඇති ඩීසල් සහ එන්ජින් ඔයිල් තොගයක් අඩු මිලට දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ විස්සක් රැගෙන පලා ගිය සැකකරුවන් දෙදෙනකු ඊයේ (30 දා) දහවල් අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉබ්බාගමුව වඩු පොල සහ උඩවෙල ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 32 සහ 34 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
මැදවච්චිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු හට පූනෑව නාවික හමුදා කඳවුරේ කැප්ටන් අශෝක ලෙස අයෙකු දුරකථන ඇමතුමක් ලබාදී ඩීසල් බැරල් විස්සක් සහ එන්ජින් ඔයිල් බැරල් දහයක් තිබෙන බවත්, ඩීසල් බැරල් එකක් රුපියල් ලක්ෂයකට සහ එන්ජින් ඔයිල් බැරල් එකක් පනස් දහසක් වැනි අඩු මුදලකට ලබා දිය හැකි බව දන්වා තිබේ.
පසුව එම ව්‍යාපාරිකයා එයට කැමැත්ත පළ කර රියදුරු සහ තම පුතුන් දෙදෙනා සමග කදවුර ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදී කඳවුරේ ගේට්ටුව අසල සිටි අයෙකු තමන් කැප්ටන් අශෝක යැයි පවසා, කඳවුරට ලොරිය ඇතුළු කිරීමට නම් එහි තිබෙන මුදල්, හැදුනුම්පත් අංක ලබාදී ගේට්ටුවෙන් අවසර පත්‍රයක් ලබා ගත යුතු යැයි පැවසීමෙන් අනතුරුව, ව්‍යාපාරිකයා විසින් හැඳුනුම්පතක් සහ ලක්ෂ 20 ක මුදල සැකකරු හට ලබා දී තිබූ බව පොලීසිය සඳහන් කළේය.
කඳවුරේ ගේට්ටුව අසලට ගිය සැකකරු එම ස්ථානයේ සිටි සෙබළකු සමග කතා කර, නැවත පැමිණ හැඳුනුම්පත ලබා දී කදවුර ඉදිරිපිට ඇති ඒ.ටී.එම් යන්ත්‍රය අසලට ගොස් එම ස්ථානයේ තිබූ යතුරු පැදියක නැගී අධික වේගයෙන් පලා ගොස් තිබූ බව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිසිය පවසයි.
මැදවච්චිය නගරය දෙසට පලා ගිය යතුරු පැදිය පසු පස ලොරි රථයෙන් හඹා ගිය ව්‍යාපාරිකයා ඇතුළු පිරිස පොලිසිය දැනුවත් කිරීමෙන් පසු, රථ වාහන රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනකු සංඥා නිකුත් කළද, සැකකරුවන් යතුරු පැදිය නතර නොකර පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
එම නිලධාරීන් දෙදෙනා යතුරුපැදියේ අංකය සටහන් කර ගැනීමෙන් අනතුරුව සියලු රථ වාහන අංශ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබූ අතර, එහිදී එම මාර්ගයේ ඉකිරිගොල්ලෑව රථ වාහන රාජකාරියේ නිරතව සිටි අධිවේගී යතුරු පැදි නිලධාරීන් දෙදෙනෙකු මුදල් ද සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (31දා) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පූනෑව පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.