හම්බන්තොට රෝහලට ලොකු සංවර්ධනයක්
හම්බන්තොට දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාර සේවාවන්හි ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පවතින ගැටලු සඳහා විසඳුම් හඳුනාගැනීම සහ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ප්රමුඛතා තීරණය කිරීම අරමුණු කරගත් විශේෂ රෝහල් කළමනාකරණ සමාලෝචන රැස්වීමක් ඊයේ (13) පෙරවරුවේ රෝහල් ශ්රවණාගාරයේදී සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
හම්බන්තොට දිස්ත්රික්කයේ ලක්ෂ හතකට ආසන්න ජනතාවකට සෞඛ්ය සේවා සපයන මෙම රෝහල දකුණු පළාතේ ප්රධාන රෝහල් පද්ධතියේ වැදගත් මධ්යස්ථානයක් ලෙස ක්රියාත්මක වේ. රෝහලේ වර්තමාන සේවා තත්ත්වය, පවතින සම්පත් ඵලදායීව භාවිත කිරීම, රෝගී සත්කාර සේවාවන්ට බලපාන ගැටලු සහ හඳුනාගෙන ඇති සංවර්ධන අවශ්යතා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරිණි.
2019 වර්ෂයේදී නව ස්ථානයක ඉදිකරන ලද රෝහලේ ඇතැම් ගොඩනැඟිලි හා ඒකක රෝගී ප්රතිකාර සහ සත්කාර සේවා වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්ය පරිදි සැලසුම් වී නොතිබීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. එම ගැටලු සඳහා ප්රායෝගික විසඳුම් හඳුනාගනිමින්, රෝහල් භූමි පරිශ්රය උපරිම ඵලදායීතාවකින් යොදාගෙන ඉදිරි සංවර්ධන කටයුතු ක්රමානුකූලව ක්රියාත්මක කිරීම සඳහා විධිමත් සමස්ත සංවර්ධන සැලැස්මක (Master Plan) අවශ්යතාව අවධාරණය කෙරිණි.
දැනට රෝහලේ ඇඳන් ධාරිතාව 979ක් වන අතර, වකුගඩු රෝගීන් සඳහා ප්රතිකාර පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් නව වකුගඩු ප්රතිකාර ඒකකයක් ඉදිකෙරෙමින් පවතී. මීට අමතරව, හෘද කැතීටකරණ ඒකකයක් (Cath Lab), අධිකරණ වෛද්ය නිලධාරී කාර්යාලයක්, හදිසි අනතුරු හා හදිසි ප්රතිකාර ඒකකයක් සහ දරුවන් සඳහා ඔටිසම් ප්රතිකාර මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමේ අවශ්යතා ද ඉදිරි කඩිනම් සංවර්ධන සැලසුම් යටතේ සලකා බැලීමට යෝජනා විය.
බාහිර රෝගී අංශයේ සහ සායනවල සේවා ඩිජිටල්කරණය කිරීම, ප්රමාණවත් නොවන හෝ යල් පැන ගිය වෛද්ය උපකරණ වෙනුවට නවීන උපකරණ සැපයීම, කාර්ය මණ්ඩල නිල නිවාස හා නේවාසිකාගාර පහසුකම් වැඩිදියුණු කිරීම සහ ප්රවාහන අවශ්යතා සපුරාලීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. මෙම පහසුකම් සංවර්ධනය කිරීම තුළින් කාර්ය මණ්ඩලයේ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම රෝගීන්ට වඩාත් විධිමත් හා කඩිනම් ප්රතිකාර සේවාවක් සැපයීමට ද හැකි වනු ඇතැයි මෙහිදී පෙන්වා දෙන ලදී.
රෝගීන්ට අත්යවශ්ය ඖෂධ සහ ශල්යකර්ම සඳහා අවශ්ය උපකරණ අඛණ්ඩව සැපයීම වෙනුවෙන් වෛද්ය සැපයුම් අංශය (MSD) සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්යතාව ද අවධානයට ලක් විය. එමෙන්ම අක්ෂි ශල්යකර්ම ඇතුළු අනෙකුත් ශල්යකර්ම සඳහා පවතින පොරොත්තු ලේඛන අවම කරමින් රෝගීන්ට නියමිත කාලසීමාව තුළ ප්රතිකාර ලබාදීම සඳහා සේවා ක්රියාවලීන් වඩාත් කාර්යක්ෂම කිරීමේ වැදගත්කම ද සාකච්ඡා කෙරිණි.
රෝහලේ සේවා අවශ්යතා සපුරාලීම සඳහා වෛද්ය නිලධාරීන්, හෙද නිලධාරීන්, විකිරණවේදීන්, ඖෂධවේදීන් සහ සෞඛ්ය කාර්ය සහායකයන් ඇතුළු විවිධ තනතුරුවල පවතින පුරප්පාඩු පිළිබඳව ද කරුණු ඉදිරිපත් විය. පවතින පුරප්පාඩු හා සේවා අවශ්යතා සැලකිල්ලට ගනිමින් අමාත්යාංශයේ සැලසුම්ගත වැඩපිළිවෙළ යටතේ අවශ්ය මානව සම්පත් ක්රමානුකූලව ලබාදීමට පියවර ගන්නා බව නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය.
කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ලුණු නිෂ්පාදනය සහ සංචාරක කර්මාන්තය ඇතුළු විවිධ ජීවනෝපායන්හි නිරත ජනතාවක් වෙසෙන හම්බන්තොට දිස්ත්රික්කයේ සෞඛ්ය අවශ්යතා සපුරාලීමේදී මෙම රෝහලට පැවරී ඇති වගකීම ද මෙහිදී සැලකිල්ලට ගනු ලැබිණි. දිස්ත්රික්කයේ ජනතාවට ප්රතිකාර සේවා සැපයීමට අමතරව අවශ්ය අවස්ථාවලදී අවට දිස්ත්රික්කවලින් පැමිණෙන රෝගීන්ට ද විශේෂිත ප්රතිකාර සේවා සැපයීමට සිදුවන බැවින්, රෝහලේ සේවා ධාරිතාව සහ පහසුකම් පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය විය.
රෝහලේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදීම, සම්පත් කළමනාකරණය විධිමත් කිරීම සහ ජනතාවට ගුණාත්මක සෞඛ්ය සේවාවක් සැපයීම සඳහා අවශ්ය සංවර්ධන කටයුතු සැලසුම්සහගතව ඉදිරියට ගෙන යාම රජයේ අපේක්ෂාව බව නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා මෙහිදී අවධාරණය කළේය.
සාකච්ජාවෙන් අනතුරුව නියෝජ්ය අමාත්යවරයා ඇතුළු නිලධාරීහු රෝහල් පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. එහිදී රෝහලේ යටිතල පහසුකම් හා ප්රතිකාර සේවා පිළිබඳව සොයා බැලූ අමාත්යවරයා ප්රමුඛ කණ්ඩායම කාර්ය මණ්ඩලය සහ ප්රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් සමඟ ද සාකච්ඡා කරමින් ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු විමසා බැලූහ.
ඉන් අනතුරුව, හම්බන්තොට පැරණි රෝහල් පරිශ්රයේ රුපියල් මිලියන 640ක පිරිවැයක් යටතේ ස්ථාපිත කරමින් පවතින ලීනියර් ඇක්සලරේටර් (Linear Accelerator) යන්ත්රයේ ස්ථාපන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ද නියෝජ්ය අමාත්යවරයා එහි විශේෂ නිරීක්ෂණයක නිරත විය.
මීට අමතරව, රජයේ අරමුදල් යටතේ රුපියල් මිලියන 240ක පිරිවැයක් දරමින් සීටී සිමියුලේටර් (CT Simulator) යන්ත්රයක් ද, තවත් සැලකිය යුතු පිරිවැයක් යටතේ බ්රැකිතෙරපි (Brachytherapy) යන්ත්රයක් ද එම පරිශ්රයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. ලීනියර් ඇක්සලරේටර්, සීටී සිමියුලේටර් සහ බ්රැකිතෙරපි යන යන්ත්ර ත්රිත්වය ස්ථාපිත කිරීම තුළින් පිළිකා රෝගීන්ට අවශ්ය විකිරණ ප්රතිකාර සැලසුම් කිරීම සහ ලබාදීම වඩාත් නිවැරදිව හා කාර්යක්ෂමව සිදුකිරීමේ හැකියාව පුළුල් වනු ඇත. ඒ අනුව, හම්බන්තොට දිස්ත්රික්කයේ මෙන්ම අවට ප්රදේශවල ජනතාවට ද තම ප්රදේශයට ආසන්නව උසස් තත්ත්වයේ පිළිකා ප්රතිකාර සේවා ලබාගැනීමට වැඩි අවස්ථාවක් සැලසෙනු ඇත.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

