අධි සංවේදී පරිසර කලාපයක් වන හන්තාන ආරක්ෂිත කලාපයට හානි වන ආකාරයෙන් ඉඩම් අලෙවි කිරීමක් හෝ බදු දීමක් තවදුරටත් සිදු වන්නේ නම් එම ආයතන වලට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවට හන්තාන පාරිසරික කළමනාකරණ කමිටුවේ දී ඒකමතිකව තීරණය විය.
ඒ අනුව දැනුම්දීම් නිවේදන නිකුත් කොට සති දෙකක කාලයකදී අදාළ ආයතනවලින් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් නීතිමය පියවර ගන්නා ලෙසත් නෛතිකමය පියවර සඳහා වැය වන වියදම් ද ඇතුළත් වන අයුරින් නඩු පවරන ලෙස දිස්ත්‍රික් ලේකම් වරයා උපදෙස් දුන්නේය .
හන්තාන පරිසර කළමනාකරණ කමිටුවේ සභාපති මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදී එම තීරණය ගනු ලැබීය .
ඉඩම් බදු දීම ඉඩම් බෙදාදීම ආදි පරිසරයට හානි කරන ක්‍රියා වහාම නවත්වන ලෙසට ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාවට ලිඛිතව දැනුම් දෙන ලෙස උපදෙස් දුන් දිස්ත්‍රික් ලේකම්වරයා සති දෙකක කාලයක් තුළදී එම ආයතනය දක්වන ප්‍රතිචාර පිළිබඳව විමසිලිමත් වන ලෙසද දැනුම් දුන්නේය .
හන්තාන පරිසර සංවේදී කලාපය ඉඩම් කට්ටි රැසක් විවිධ ප්‍රදේශවල පදිංචි කරුවන්ට ලබා දී ඇතැයි කී දිස්ත්‍රික් ලේකම් වරයා මින් ඉදිරියට ඉඩම් බදු දීමේදී ඒවා ලබාගන්නා පුද්ගලයන් හා ඉඩම් ලබා ගන්නා කාරණය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ලබා ගන්නා බව ද පැවසීය .
මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්යක්ෂ ගීතාංජලී සෙනවිරත්න, දොළුව ප්‍රාදේශීය ලේකම් වයි. පී. දයාරත්න, මහනුවර සහකාර ප්‍රාදේශීය ලේකම් කෞශල්‍ය ජයරත්න, දෙල්තොට සහකාර ප්‍රාදේශීය ලේකම් ඊ. කේ. බණ්ඩාරනායක යන මහත්මීන් සහ හන්තාන සුරැකීමේ සංගමයේ ලේකම් අමිත් සේනානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය .
ෂේන් සෙනවිරත්න/මොහොමඩ් ආශික්