කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ වල වාර්තාව ලබන 7 වෙනිදා දක්වා කල් තැබිමට අද (28) අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ප්‍රතිඥාවක් ලබාදිය හැකිදැයි අගවිනිසුරු නලින් පෙරේරා මහතා කළ විමසුමකට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා එසේ දැනුම් දුන්නේය.
තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී පෞද්ගලික හේතූවක් මත මෙම නඩුවට සහභාගී වීමට තමන් අකමැති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා නඩු විභාගයෙන් ඉවත් විය.
ව්‍යාජ තොරතුරු පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදී.
නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපකි නිශාන්ත සිල්වා , එහි අධ්යක්ෂ ශානි අබේසේකර , පොලිස්පති පූජිත ජයසුන්දර ඇතුළු පස් දෙනෙකු නම් කොට ඇත.