හිටපු ජනාධිපතිවරුන්ට යළිත් වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිද යන්න සම්බන්ධව සැප්තැම්බර් මුල් සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට තමන් පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරීස් මහතා අද (20දා) පැවසීය.
මෙම කරුණ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් අර්ථනිරූපණයක් ලබාදිය හැකි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වැනි වගන්තියට අනුව නඩු කටයුතු ආරම්භ කර මාස දෙකකදී තීරණය ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙම අධිකරණ කටයුත්ත සිදුකිරීම සඳහා ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලැබී තිබෙන බවද ඔහු පැවසීය.
විජයදාස රාජපක්ෂ ඇමතිවරයා විසින් හිටපු ජනාධිපතිවරුන්ට යළිත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බවට සඳහන් කරුණ පිළිගත නොහැකි බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විකල්ප අවස්ථා ගණනාවක් ගැන සඳහන් කර තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ජී.එල්. පීරීස් මහතා මෙම අදහස් පළ කළේය.
හිටපු ජනාධිපතිවරුන්ට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බවට සඳහන් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තුළ ඇතුළත් කර නොමැති බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට යළිත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ බාධාවක් නොමැති බවද සභාපතිවරයා පවසා සිටියේය.
19 වැනි සංශෝධනයට පෙර තිබූ හාත්පසින් වෙනස් ජනාධිපති ධුරයක් වර්තමානයේ පවතින බවත්, අතීත ධුරයට බලපාන ආකාරයට එම සංශෝධනයට වගන්තියක් ඇතුළත් කර නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.
19 වැනි සංශෝධනයෙන් පසුව ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයෙකුට අවස්ථා දෙකකදී පමණක් ජනාධිපති ධුරයට පත්විය හැකි බවට එම සංශෝධනයේ දක්වා තිබෙන බවත්, එම පුද්ගලයා 19 වැනි සංශෝධනයට පෙර දැරූ තනතුරු පිළිබඳ ඉන් අදහස් නොකරන බවත් පීරීස් මහතා ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද, නැද්ද යන්න සම්බන්ධව මේ දක්වා ප්‍රකාශ කර නොමැති බවත්, ඊට පෙර ඔහුට ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිදැයි නීතිමය වශයෙන් සොයා බැලීම අවශ්‍ය බවත් හෙතෙම පවසා සිටියේය.
අමිත් මධුරංග