පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු "හබයාස් කෝපුස්" රිට් පෙත්සම අද (16) කැඳවනු ලැබීය.
මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එය සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස එහිදී අභියාචනාධිකරණය නියම කළේය.
එහිදී නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙසය.