හග්ගල ආදායම අඩුවෙයි
2024 වසරට සාපේක්ෂව 2025 වසරේ හක්ගල ජාතික උද්භිද උද්‍යානයේ වාර්ෂික ආදායම රුපියල් විසි ලක්ෂ විසි නව දහස් එක සිය අසු තුනකින් (20,29,183) පහත බැස තිබේ.2025 වසරේ හක්ගල උද්භිද උද්‍යානයේ වාර්ෂික ආදායම රුපියල් දහ අට කෝටි අසු හතර ලක්ෂ හැත්තෑ අට දහස් නවසිය එකක් (18,84,78,901) බවත්, 2024 වසරේදී උද්‍යානයේ වාර්ෂික ආදායම ලෙස රුපියල් දහනව කෝටි පන්ලක්ෂ අටදහස් අසු හතර දහසක (19,05,08,084) මුදලක් ලැබී ඇති බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
2024 වසරට වඩා 2025 වසරේ හක්ගල උද්භිද උද්‍යානයේ වාර්ෂික ආදායම මෙසේ පහත බැස ඇත්තේ පසුගිය දිට්වා සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් මසක පමණ කාලයක් උද්‍යානය සම්පුර්ණයෙන් වසා දමා තිබූ නිසා බව පැවසේ.
2025 වසරේදී උද්‍යානය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් පන් ලක්ෂ විසි දෙදහස් හාරසිය පනස් දෙනෙකු (5,22,450) පැමිණ ඇති අතර, 2024 වසරේදී හත් ලක්ෂ හතළිස් නව දහස් දෙසිය පනස් හත් දෙනෙකු (7,49,257) උද්‍යානය නැරඹීමට පැමිණ ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 වසරේ උද්‍යානය නැරඹීම සඳහා පැමිණි සංචාරකයන්ගෙන් හාර ලක්ෂ අනු හත් දහස් පන්සිය විසි පස් දෙනෙකු (4,97,525) දේශීය සංචාරකයන් බවත්, එම වසරේ විදෙස් සංචාරකයන් විසි හතර දහස් නවසිය විසි පස් දෙනෙකු (24,925) පැමිණ ඇති බව උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
2024 වසරේදී දේශීය සංචාරකයන් හත් ලක්ෂ විසිපන් දහස් නවසිය තිස් හතර දෙනෙකු (7,25,934) මෙන්ම එම වසරේ විදෙස් සංචාරකයන් විසිතුන් දහස් තුන්සිය විසි තුන් දෙනෙකු (23,323) පැමිණ ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 වසරේ උද්‍යානය නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයන්ගෙන් රුපියල් අට කෝටි පනස් තුන් ලක්ෂ අනු හත් දහස් හත්සිය අසූවක (8,53,97,780) ආදායමක් ලැබී ඇති බවත්, 2024 වසරේදී එම ආදායම රුපියල් හය කෝටි අනු අට ලක්ෂ හැටහත් දහස් පන්සිය විස්සක් (6,98,67,520) බව තොරතුරු දැන ගැනීමේ පනත අනුව සිදු කරන ලද විමසීමේදී පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

