2019 වසරේ සිට හොංකොං හි පවතින ප්රචණ්ඩත්වය, ත්‍රස්තවාදය හා ලැජ්ජා සහගත විදේශීය මැදිහත්වීම හෙළා දකින බව සඳහන් කරමින් ශ්‍රී ලංකා චීන සංගම් පහකින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
2019 ආරම්භ වූ මෙම ප්රචණ්ඩත්වය හොංකොං හි මෙන්ම කලාපයේ සාමයට ස්ථාරත්වයට, සෞභාග්‍යයට ගැටලුවක් ඇතිකරන්නක් බවද එම ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වෙයි.
වර්තමානයේ හොංකොංහි ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබේ.
හොංකොං යනු චීනයේ විශේෂ පරිපාලන කලාපයක් බව සදහන් කරන එම සංගම් දෙපාර්ශ්වයන්ටම වාසි සහගත තත්ත්වයන් යටතේ ඉතිහාසගත, සමාජ ආර්ථික සහයෝගීත්වක් පැවැති බවද එම ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වෙයි.
ශ්‍රී ලංකා චීන මිත්‍රත්ත්ව සංගමය, චීන ශ්‍රී ලංකා සමාජය, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතාව සඳහා වන සංගමය, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය වේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සගමය මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව හා චීනය ඇතුළත්ව සමස්ත ලෝකයේම සමාජ ආර්ථික සංවර්ධනයේ මූලික කරුණක් වන්නේ ජාතික ආරක්ෂාව බවත් ත්‍රස්තවාදය, විදේශීය මැදිහත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවටද වේදනාත්මක අතීතයක් හිමි බවද එම ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වෙයි.
එක්සත් හෝ ෆෙඩරල් රටක් වේවා එම රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ව්‍යවස්ථාදායක බලය ඇත්තේ එම රටේ ව්‍යවස්ථාදායකට බවත් චීනයේ ජාතික මහජන කොංග්‍රසය හොංකොං හි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ස්ථාපිත කළ නීති දැකීමට ලැබීම සතුටක් බවත් ඔවුන් පවසයි.
නව නීති හරහා හොංකොං මෙන්ම කලාපයේ සාමය ආරක්ෂා වන බවත් එය එක් රටක් පද්ධති දෙකක් යන හොංකොං සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරත්වය තහවුරු කරන බවත් හෙංකොංහි ජනතාවගේ ව්‍යවස්ථාමය අයිතිවාසිකම් ආරක්ෂා කරන බවත් එම ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වෙයි.
හොංකොං හි දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් හා හොංකොං සමග වඩා හොද සහයෝගීතාවක් වෙනුවෙන් සහාය දක්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.