හැකි ඉක්මණින් රටේ සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දීම රජයේ අපේක්ෂාව බවත් ඉදිරි සතිදෙක අවසන් වන විට මෙරට ජනගහණයෙන් ලක්ෂ 10 පිරිසකට කොවිඩ් එන්නත විද අවසන් වන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මහින්ද - ගෝඨාභය සුසංයෝගයට කොවිඩ් වසංගතය ජයගෙන රටේ ආර්ථිකය ගොඩ නැගීමට හැකිවන බවට විශ්වාසය පළ කළ ඇමතිවරයා රටවල් 130කට පමණ මෙම කොවිඩ් එන්නත ලබා ගත නොහැකිව සිටිය දී මෙරටට මෙම එන්නත ලබා ගැනීමට හැකිවීම ආණ්ඩුව ලබපු ජයග්‍රහණයක් බව ද පෙන්වා දෙයි.
මිනුවන්ගොඩ තරුණ බල මණ්ඩලයට පහුගිය දා (27) එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.
“අද වනවිට අපේ රටේ කොවිඩ් එන්නත ලබාදීමේ වැඩසටහන සිදුවෙමින් තිබෙනවා. පහුගිය සතියේ තවත් එන්නත් ලක්ෂ 05ක් රටට ආවා. කලින් ලැබුණු ලක්ෂ 05 ත් එක්ක එතකොට ලක්ෂ 10ක්. තව මාස දෙක තුනක් යන්න කළින් අපේ රටේ මේ එන්නත ලබා දිය හැකි සියලුම දෙනාට අපි මේ එන්නත ලබා දෙන්න කටයුතු කරනවා. අපිට වඩා දියුණුයි කියන නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් තවමත් එන්නත ලබා දීලා නෑ. රටවල් 136 ක් තවමත් මේ එන්නත විදින්න පටන් අරගෙනවත් නෑ. හැබැයි ගෝඨාභය - මහින්ද සුසංයෝගය හැමවිටම මුල් තැන දුන්නේ රටේ ජනතාවට. අද වනවිට කොරෝනා පාලනය කරපු හොදම රටවල් 10න් එකක් බවට ශ්‍රී ලංකාව පත්වෙලා ඉන්නේ. ඉදිරි මාස කීපය තුළ කොවිඩ් එන්නත ලබාදීපූ ලෝකයේ කොවිඩ් වලින් සුරක්ෂිතම රට බවට අපේ රට පත් කරනවා.
සමහරු උත්සාහ කරනවා ගෝඨා ෆේල් කියලා මතයක් රට තුළ වපුරන්න. මේක කරන්නේ මේ රට කාපු, මේ රට විකුණපු අයයි. පහුගිය යහපාලන ආණ්ඩුව තමයි මෙරට ඉතිහාසයේ බිහි වූ ෆේල් ම ආණ්ඩුව. එහෙම ෆේල් ආණ්ඩුවක් කරපු නිසා මහජන විශ්වාසය බිද වැටිලා කුජීත වෙච්ච අය තමයි අද මේ ආණ්ඩුව ෆේල් කියලා කියන්නේ. අපි කිසිසේත් මේ රටේ ජනතාව අප කෙරෙහි තැබු විශ්වාසය පළුදු වෙන්න කිසිදු ඉඩක් තියන්නේ නෑ.”