සෞදි සංවර්ධන අරමුදලේ සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්ෂා කරන බව සෞදි තානාපති අබ්දුල්නසර් හුසේන් අල් හාර්ති (Abdulnasser Hussain Al-Harthi) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි.
සේවා කාලය නිම කර දිවයිනෙන් පිටත්ව යන අබ්දුල්නසර් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය.
සිය ධුර කාලය තුළ හුසේන් අල් හාර්ති මහතා දැක් වූ සහාය ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්විණ.
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ආයෝජන සහ ශ්‍රී ලංකාවේ ඇති තවත් ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට සෞදි රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් හාර්ති මහතා පැවසීය.
ආයෝජන කලාප ආශ්‍රිතව විශේෂ බදු සහන රැසක් පවතී. ඖෂධ, තාක්ෂණ සහ ඇඟලුම් කර්මාන්තය ආශ්රිත සෘජු ආයෝජන සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින පුළුල් අවස්ථා ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.
කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට ඉදිකිරීමට යෝජිත නැව් අලුත්වැඩියා සහ නිෂ්පාදන ආයතනය ආශ්‍රිතව ඇති ආයෝජන අවස්ථා සඳහා ජනාධිපතිතුමා සෞදි රජයට ආරාධනා කළ අතර සෞදි සංවර්ධන අරමුදල යටතේ මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට දක්වන සහායට ස්තූතිය ද පිරිනැමීය.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ සෞදි රාජ්‍යයේ මෙරට නියෝජ්‍ය තානාපති අබ්දුල්ලා ඒ. ආර්කොබි (Abdullah a. Aorkobi) යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.