කළුතර සෞඛ්‍ය නිලධාරීයෙක් පැදවූ මෝටර් රථයකට අද(01දා) සිවිල් ආරක්ෂක බළකා නිළධාරියකු ගැටීමේ සිද්ධියක් මුල් කරගෙන සෞඛ්‍ය නිලධාරීයාට නාස් පොල්ල පුපුරායන ලෙස හෙල්මටයකින් පහර දුන් බව කියන පුද්ගලයෙකු සොයා පරීක්ෂණ පවත්වන බව කළුතර දකුණ පොලිසිය පවසයි.
පහර කෑමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, මොරොන්තුඩුව , මහ ගෝනදූව , නාගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින ගමගේ අරුණ කුමාර පෙරේරා නමැති 40 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
පහරකෑමට ලක් තැනැත්තා කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බරවා රෝග කීට විද්‍යා සහායකයකු ලෙසින් රාජකාරි කරන බවත්, ඔහු කළුතර මැද පාරේ ගාලු දෙසට ගමන් කරමින් සිටියදී පදික මාරුවෙන් පාර මාරුවීමට ගිය සිවිල් ආරක්ෂක බළකා නිලධාරීයකුගේ කකුලේ යන්තමින් ගැටී අනතුර සමථයකට පත්කර ගෙන තිබේ .
ඒ මොහොතේ ඇතිවූ කතාබහට ඒ අසලින් ගමන් ගත් පුද්ගලයකුද මැදිහත් වී ඇති අතර , පසුව ඔහු අත තිබූ හෙල්මටයෙන් සෞඛ්‍ය නිලධාරියාගේ මුහුණට වැරෙන් පහරදී ඇති බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයි පොලිසිය කියයි .
පහරකෑමට ලක්වූ සෞඛ්‍ය නිලධාරියා කළුතර මහ රෝහලට ඇතුලත් කර ඇති බවත්, ඔහුගේ නාසයේ ප්‍රධාන අස්ථියට හානි සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් සූක්ෂම ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර පරීක්ෂණ සිදුකරන බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
පහරදී පලාගොස් ඇති පුද්ගලයා සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.
කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනිල් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය