ආසාත්මිකතා හා සංකූලතා ඇතුළු සිද්ධීන්ගෙන් මෙරට රෝහල් කිහිපයක සිදු වූ බවට සැක කරන සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සොයාබැලීම සදහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දුන්නේය.
ඒ එම කමිටුවේ සභාපති, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස් මහතා ඇතුළු කමිටු සාමාජිකයින් පිරිසක් විසිනි.
එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් බාරදෙනු ලැබීය.
පේරාදෙණිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක රෝගීන්ගේ සිදු වූ ආසාත්මිකතා සහ සංකූලතා හේතුවෙන් ඒ පිළිබදව විද්‍යාත්මකව සොයාබැලිමට ඉකුත් ජුලි 17 දින සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.
මෙම වාර්තාවේ අරමුණ වූයේ පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වුණු ආසාත්මිකතා හේතුවෙන් ඇති වූ සංකූලතා හා මරණ සම්බන්ධ වූ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරිමයි.
ඇති වූ සිද්ධි 06 සැළකීමේ දී ඉන් 05 ක්ම දරුණු ආසාත්මිකතා (Anaphylaxis) හේතු කොටගෙන සිදු වූ බව වාර්තාවේ සදහන් වේ. මෙම සිද්ධීන්ට හේතු වූ ඖෂධයන්හි තත්ත්ව පරීක්ෂණ තවදුරටත් සිදුවෙමින් පවතින අතර, එම පරීක්ෂණ ගැඹූරින් විග්රහ කිරිමට වැඩි කාලයක් ගත වන බැවින් එම වාර්තාවේ නිරික්ෂණ ද සහිතව සවිස්තරාත්මක ඇගයීම් කමිටු වාර්තාවක් සමග ඉදිරිපත් කිරිමට නියමිතය.
ආසාත්මිකතා විෂයට අදාළ සිද්ධීන්ට සම්බන්ධ ඖෂධයන්හි තත්ත්ව පරික්ෂණ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය (NDQAL) ආයතනය මගින් සිදුවෙමින් පවතී. ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ තවදුරටත් පෙර සුදානම, හදුනාගැනීම හා කළමණාකරණය සදහා නිර්දේශයන්ද වාර්තාවේ ඉදිරිපත් කර ඇත.
