සෞඛ්‍ය පද්ධතිය තුළ දිනෙන් දින උග්‍ර වන ඖෂධ හිඟය, ඖෂධ මිල ඉහළ යාම සහ ඖෂධ ප්‍රමිතිය පිළිබඳ ගැටලු විසඳීමට කටයුතු නොකිරීම නිසා රෝගී සත්කාර සේවා අඩපණ වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි,
මෙම අර්බුදය ඉල්ලුමක් කරගනිමින් ස්වකීය මඩිය තර කර ගැනීමට උත්සාහ කර ගන්නා කණ්ඩායම් වලට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙරට රෝගී ජනතාව සෞඛ්‍ය අමාත්‍යාංශය වටලන දිනය වැඩි ඈතක නොවන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.සෞඛ්‍ය අමාත්‍යවරයා ප්රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුඛ්‍ය වගකීම වනුයේ මෙම අර්බුදය විසඳා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වුවද, ඔවුන් එම වගකීම පැහැර හරිමින් කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.
සෞඛ්‍ය පද්ධතියේ සහ ඖෂධ ක්ෂේත්රයේ දිගින් දිගටම පැවති වංචා දූෂණ විෂමාචාර මෙම අර්බුදකාරී මොහොතේ දී පෙර නොවූ විරූ අයුරින් ඉහ වහා ගොස් තිබීම බරපතළ ඛේදවාචකයක් බවත්, ඖෂධ සම්බන්ධ බරපතළ අර්බුදයක් ඇති වී තිබෙන මොහොතක දී පවා එම විෂමාචාර පාලනය කිරීමට හෝ අවම කර ගැනීමට කිසිදු උත්සාහයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොමැති බවත් ලේකම්වරයා සඳහන් කළේය.
මෙය වඩාත් සනාථ වන්නේ පසුගියදා කරළියට පැමිණි රු. බිලියනයකට අධික වටිනාකමක් ඇති මානව ප්‍රතිදේහ ජනක ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සම්බන්ධ සිදුවීමෙන් බවත් කූට ලිපි ලේඛන භාවිත කරමින් මෙරටට ගෙන්වූ අදාළ ඖෂධයේ ප්‍රමිතිය පිළිබඳ කිසිදු සහතිකයක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
ඖෂධය රට තුළට පැමිණි ආකාරය හෝ රට තුළ බෙදා හරිනු ලැබූ ආකාරය පිළිබඳවද තොරතුරු නොමැති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවෙක් නොදන්නා ස්වරූපයෙන් හැසිරෙන අතර සිදුවන පරීක්ෂණ සම්බන්ධයෙන් ද සෑහීමකට පත්විය නොහැකි බවත් පවසා සිටියේය.
.