මහනුවර නගරය රජ වීදියේ නිවසක් බිඳ එම නිවසේ තිබූ රන් පවුම් හතක් සහ රුපියල් ලක්ෂ දෙකක විදේශ මුදල් සොරකමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වලට පැමිණි පොලිස් නිලධාරීන්ට උදව් උපකාර කරමින් සිටි පුද්ගලයෙකුගේ සපත්තුවේ අඩි සලකුණින් සොරා ඔහු බව හඳුනා ගැනීමේ සිද්ධියක් වාර්තාවේ.
මහනුවර නගරය රජ වීදියේ නිවසක් වසා දමා එහි හිමි කරුවන් යාපනය ප්රදේශයේ ඔවුන්ගේ ඥාති නිවසකට සිටියදි ඉකුත් 04 වෙනිදා එම නිවසේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී එහි තිබූ රන් පවුම් හතක් හා රුපියල් ලක්ෂ දෙකක විදේශ මුදල් සොරකම් කොට ඇති බවට මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ.
පැමිණිල්ල අනුව ක්රියාත්මක වූ අපරාධ අංශයේ නිලධාරීන් අදාල ස්ථානයට ගොස් විමර්ශන සිදුකරන අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට උදවු කිරීම සඳහා මහත් උනන්දුවෙන් ඒ අසල කඩයක සේවය කරන පුද්ගලයකු ඉදිරිපත් වී තිබේ.
නිවස තුළ ටයිල් මත තිබූ සපත්තු අඩි සලකුණක් සම්බන්ධයෙන් උකුසු ඇස හෙලූ පොලිස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නට විය. එදින වැසි දිනයක් වූ බැවින් උදව්වට ඉදිරිපත් වූ පුද්ගලයා එළියෙ සිට නැවත එම නිවස තුළට පැමිණෙන විට ටයිල් මත සටහන් වූ අඩි සලකුණට මීට පෙර සටහන්ව තිබූ අඩි සලකුණට සමාන වන බවක් පෙනුන බැවින් අදාල පුද්ගලයගෙන් ප්රශ්න කරන්නට විය.
සොරකමේ සුලමුල හෙළි වූයේ ඉන් අනතුරුවය . එම නිවසේ කිසිවෙකුත් නොමැති බව දැන ගැනීමෙන් දැනගැනීමෙන් අනතුරුව ඒ අසල කඩයේ සේවයෙන් නික්ම ගිය පසු නැවත රාත්රී පැමිණ දොර කඩා එම බඩු සොරකම් කළ බව ඔහු පොලිසියට පවසා තිබේ .
සොරකම් කරන රත්රන් බඩු සහ විදේශ මුදල් පොලිසිය විසින් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙන මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එම්.ජී.එස්. බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ .