කුරුණෑගල මලියදේව විදුහල ඉදිරිපිට මාර්ගයේ නවතා තිබියදී පසුගිය 21වන දින සොරකම් කරගෙන ගොස් තිබූ කැබ් රථයක් මුහුණු පොතේ පළ කරන ලද පොස්ටුවක් මාර්ගයෙන් දින තුනක් ඇතුළත නැවත සොයා ගැනීමට හැකිවීමේ පුවතක් නිට්ටඹුවෙන් වාර්තාවේ.
නිට්ටඹුව නගරයේ නවතා තිබියදී අද (25දා) පෙරවරුවේ එම කැබ් රථය සොයා ගැනීමට හැකිවී තිබේ.
කුරුණෑගල පදිංචි ආනන්ද ගුණවර්ධන මහතා රතු පැහැති මිට්ෂුබිෂි වර්ගයට අයත් රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා මෙම කැබ් රථයේ අයිතිකරුය. ඒ මහතා තම බිරිඳද සමඟ පැමිණ මලියදේව විදුහලේ ක්රීඩා තරඟයක් නැරඹීම සඳහා ගොස් සිටියදී විදුහල ඉදිරිපිට නවතා ගොස් තිබූ මෙම කැබ් රථය කිසිවකු විසින් සොරකම් කරගෙන ගොස් ඇත.
ඒ පිළිබඳව කුරුණෑගල නගරයේ ප්රධාන මාර්ග වල සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධති පරීක්ෂා කර බැලීමේදි කිසිවකු එම රථය මීගමුව මාර්ගයේ පදවාගෙන යන අයුරු සටහන්ව තිබී ඇත.
මේ සම්බන්ධයෙන් ගුණවර්ධන මහතා තම මුහුණු පොතේ පළ කරන ලද පෝස්ටුවක් දුටු කුරුණෑගල ශික්ෂණ රෝහලේ එක්ස් කිරණ ප්රතිකාර අංශයේ සේවය කරන සිසිර වලිසිංහ මහතා එම පෝස්ටුව මුහුණු පොතේ තම පිටුවේද ප්රදර්ශනය කරමින් නැතිවූ කැබ් රථය සොයා ගැනීමට උදව් ඉල්ලා තිබිණි.
වලිසිංහ මහතාගේ එම පෝස්ටුව දැක තිබූ ඔහුගේ මිතුරෙකු සොරකම් කර තිබූ කැබ් රථය අද පෙරවරුවේ නිට්ටඹුව නගරයේ කොළඹ මාර්ගය අසල නවතා තිබෙනු දැක වහාම ඒ බව වලිසිංහ මහතාට දැනුම් දීමෙන් අනතුරුව අයිතිකරුටද දන්වා නිට්ටඹුව පොලීසියට දැනුම්දී කැබ් රථය පොලිස් බාරයට ගැනීමට කටයුතු කර තිබේ.
සොරකම් කරගෙන ගිය කැබ් රථය රැගෙන ගිය පුද්ගලයා දමා ගොස් තිබුණාද නැත්නම් නවතා වෙනත් කටයුත්තකට ගොස් සිටියාද යන්න සම්බන්ධයෙන් නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ගීතාංජලී ප්රියදර්ශනී
