ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්ත ආයතනය පසුගිය රජය කාලයේ ණය හා විවිධ සේවාවන් වෙනුවෙන් කෝටි 800 මුදලක් විවිධ ආයතන වලට ගෙවීමට තිබියදී එම ගෙවිය යුතු මුදල් සඟවා ලාභ පෙන්නුවා.ඒ නිසයි එදා ආයතනය ලාභ ලැබුවේ.යැයි මොනරාගල දිස්ත්‍රික් පා.මන්ත්‍රී වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමති ආර්.එම් ජයවර්ධන මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ (25) වෙනිදා සෙවනගල සීනි කර්මාන්ත ආයතනයේ උක් වගාව ගිනිගෙන විනාශ වීම් පිළිබඳව සොයාබැලීම සඳහා කර්මාන්ත ආයතනයට ගිය අවස්ථාවේදීය .
සෙවනගල සීනි කර්මාන්ත ආයතනය 2021,2022,2023 වර්ෂ වලදී සේවකයින් වෙනුවෙන් ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට මුදල් යවා නැහැ.බැංකු වලට සහ විවිධ ආයතන වලට විශාල මුදලක් ගෙවීමට තිබෙනවා.ව්‍යාපෘති රැසකට වියදම් කළ මිලියන ගණනකින් කිසිදු ආදායමක් මේ වන විට ලැබී නැහැ.ණය හා විවිධ සේවාවන් ඇතුළු තවත් ගෙවීම් වෙනුවෙන් කෝටි 800 ණයක් විවිධ ආයතන වලට ගෙවීමට තිබෙනවා.එම ගෙවිය යුතු මුදල් සඟවා ලාභ පෙන්වා,බැංකු ණය ලබාගෙන සේවකයින්ට ප්‍රසාද දීමනා පවා ලබාදී තිබෙනවා.ඒ නිසයි එවකට ආයතනය ලාභ ලැබුවේ.
පසුගිය පාලන කාලයේ ආයතනයට ඔරොත්තු නොදෙන ප්‍රමාණයට හිතවතුන්ට පත්වීම් ලබාදී තිබෙනවා සේවකයින් පන්සියයක් පමණ අවශ්‍ය තැනට මේ වන විට එක්දහස් තුන්සියයක් සිටිනවා.
මෙම තත්වය මත ආයතනය පවත්වා ගෙන යාම ඉතාම අසීරුයි.සියයට දහඅටක වැට් බද්ද ගැහුවේ රනිල් වික්‍රමසිංහ රජයයි.එතනෝල් පිටරටින් ගෙන්වීමට අවසර දුන්නේත් එවක රජයයි.අපේ සීනි සහ එතනෝල් අලෙවි කිරීමට නොහැකි වූයේ ඒ නිසයි.
අපි කුමන හෝ හේතුවක් නිසා සෙවනගල හෝ පැල්වත්ත වසා දමන්නේ නැහැ.ඇතැම් මාධ්‍ය පසුගිය කාලයේ සෙවනගල සහ පැල්වත්තට කළ හානිය සහ විනාශය ගැන කතා කරන්නේ නැහැ.ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර මෙම ආයතන රැකගෙන ගොවීන්ට සහ සේවකයින්ට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කරනවා.
මීට පෙර විශාල ගලක් කර්මාන්තශාලාවැට උක් ගස් සමඟ යවා කම්හල අක්‍රිය කිරීමට කිසියම් පිරිසක් උත්සාහ කළා.මෙවර වගාවට ගිනි තිබ්බා.විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සහ ඇතැම් සේවකයින් ප්‍රවාහන කරුවන් සමඟ එක්ව ආයතනය විනාශ කිරීමට කටයුතු කරනවා.ඒවාට අප ඉඩ තබන්නේ නැහැ.මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා කඩාකප්පල්කාරීන්ට එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනවා.
විපක්ෂයේ දේශපාලනඥයින්ගේ බහට අසු නොවී ආයතනය රැක ගැනීමට සහාය වන ලෙස සියලු සේවකයින්ගෙන් සහ ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මොනරාගල සුමනසිරි ගුණතිලක