ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සෞදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරුට පවසයි.සෞදි අරාබියානු විදේශ අමාත්‍යවරයා සමග අද (14දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණික සංවර්ධනය සහ වරාය නගර ආශ්‍රිතව ඇති විදේශ ආයෝජන අවස්ථා ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරුගේ අවධානයට යොමු වූ අතර ප්‍රේෂණ අඩුවීම, සංචාරක කර්මාන්තය බිඳ වැටීම, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වූ බලපෑම හා මතුව ඇති ඉන්ධන අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.
තම රාජ්‍යය ද පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව සඳහන් කළ සෞදි විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට සූදානම් බව පැවසීය.
දෙරට අතර අංශ ගණනාවකින් ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි ද සාකච්ඡාවට ලක් කෙරිණි.
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසීර් අල් ෆර්හාත්, සවුදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් අබ්දුල් රහමන් අල්දාවූඩ්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඔගේ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

