සුරාබදු දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 413ක් පිරවීමට නව බඳවා ගැනීම් සහ උසස් කිරීම්
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා නව බඳවා ගැනීම් සහ නිලධාරීන් උසස් කිරීම් රැසක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
1913 වසරේ ස්ථාපිත කළ සුරාබදු දෙපාර්තමේන්තුව වසර 113ක් පුරා මධ්‍යසාර හා දුම්කොළ ආශ්රිත කර්මාන්තවලින් රජයට ලැබිය යුතු බදු ආදායම සුරක්ෂිතව අයකර ගැනීම, නීති විරෝධී කටයුතු මර්දනය කිරීම සහ නිවාරණ කටයුතු මගින් සමාජ ආරක්ෂාව තහවුරු කිරීමේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.
මුදල් අමාත්‍යවරයාගේ පාලනය යටතේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙහෙයවනු ලබන සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලය 1,649ක් වන නමුත්, දැනට සේවයේ නිරත කාර්ය මණ්ඩලය 1,236කි. ඒ අනුව තනතුරු 413ක පුරප්පාඩු පවතී.
වත්මන් මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර දිසානායක මහතාගේ උපදෙස් පරිදි, මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර යන මහතුන් සහ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතාගේ මැදිහත්වීමෙන් 2025 සහ 2026 වසරවලදී මෙම පුරප්පාඩු පිරවීම සඳහා නව බඳවා ගැනීම් මෙන්ම උසස් කිරීම් සිදු කිරීමට පාලන හා මානව සම්පත් අංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව සුරාබදු කොමසාරිස් (රාජකාරී ආවරණ) තනතුරු 3ක්, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තනතුරු 5ක්, සහකාර සුරාබදු කොමසාරිස් තනතුරු 3ක්, සහකාර අධ්යක්ෂ (තොරතුරු තාක්ෂණ) තනතුරක්, සුරාබදු අධිකාරී තනතුරු 15ක්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී තනතුරක්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර තනතුරු 2ක්, සුරාබදු පරීක්ෂක තනතුරු 33ක්, සුරාබදු නියාමක තනතුරු 95ක් සහ සුරාබදු නියාමක රියදුරු තනතුරු 12ක් සඳහා නව බඳවා ගැනීම් සිදුකර ඇත.
එමෙන්ම නිල ඇඳුම් කාර්ය මණ්ඩලයේ සහකාර සුරාබදු කොමසාරිස් (රාජකාරී ආවරණ) තනතුරු 10ක්, ප්‍රධාන සුරාබදු පරීක්ෂක තනතුරු 26ක්, සුරාබදු පරීක්ෂක තනතුරු 22ක්, සුරාබදු සැරයන් මේජර් තනතුරු 28ක්, සුරාබදු සැරයන් තනතුරු 63ක් සහ සුරාබදු නියාමක තනතුරු 11ක් සඳහා උසස් කිරීම් සිදුකර තිබේ.
මෙහිදී තිස්ස කුමාර රාජපක්ෂ, ජයන්ත සිල්වා සහ සුමිත් චන්ද්‍රකුමාර යන මහතුන් ඇතුළු සුරාබදු ප්‍රධාන කාර්යාලයේ තවත් විධායක නිලධාරීන් 05 දෙනෙකුට උසස්වීම් සඳහා පත්වීම් ලබාදීම සුරාබදු කොමසාරිස් ජනරාල් අතින් රාජගිරියේ පිහිටි සුරාබදු ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා සිදුකරන ලදි.
මෙම නව බඳවා ගැනීම් සහ උසස් කිරීම් හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට නව ජවයකින් කටයුතු කිරීමට හැකියාව ලැබෙන අතර, සුරාබදු ආදායම වර්ධනය කිරීම, නීති විරෝධී ක්‍රියා මර්දනය කිරීම සහ සමාජ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තවදුරටත් කාර්යක්ෂම සේවයක් සැපයීමට හැකි වනු ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා පවසයි.
මෙම අවස්ථාවට සුරාබදු කොමසාරිස් සුරංගා ගුණතිලක, නීති නිලධාරී නිමේෂා විජයසිරිවර්ධන, ප්‍රධාන මූල්‍ය නිලධාරීනී රෝෂානි බුලත්සිංහල, අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් රෝහණ සේනාරත්න යන මහතුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

