පසුගිය නොවැම්බර් මස 30 දින හා දෙසැම්බර් මස 05 දින මෙරටට පැමිණි අධි සුඛෝපභෝගී සංචාරක නෞකා දෙකෙන් පැමිණි සංචාරකයින් පිරිස නිසා වනජීවි දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක් ලැබී ඇතැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව නොවැම්බර් මස 30 දින පැමිණි නෞකාවේ සිටි විදේශීය සංචාරකයින් 551ක් දෙනෙක් වාහන 110කින් යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණ සිටි අතර එදින වනජීවි දෙපාර්තමේන්තුව ලද ආදායම රුපියල් 6,219, 560 කි.
එමෙන්ම දෙසැම්බර් මස 05 දින පැමිණි නෞකාවේ සිටි සංචාරකයින් 86 දෙනෙක් වාහන 18කින් යාල වනෝද්‍යානය නැරඹීමට ගොස් තිබේ. එමගින් ලද ආදායම 9,81,981කි.
මෙම දෙදින තුළ දේශීය සංචාරකයින් පැමිණ තිබෙන්නේ 148 දෙනෙක් පමණි.
විදේශීය සංචාරකයින් පැමිණෙන අවස්ථාවන් හිදී ඔවුන්ට යාල වනෝද්‍යානය නැරඹීම සඳහා උපරිම කාලයක් ලැබෙන පරිදි ප්‍රවේශපත් නිකුත් කරන කවුළු ප්‍රමාණයක් වැඩිපුර විවෘත කර තබන්නැයි අමාත්‍යවරයා වනජීවි දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
එමෙන්ම ඉදිරියේ දී මෙරටට පැමිණීමට නියමිත අධි සුඛෝපභෝගී නෞකාවලින් පැමිණෙන සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නේ නම් ඊට පෙර සංචාරක අමාත්‍යාංශය සමග සම්බන්ධ වී අදාල කටයුතු විදිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා පියවර ගන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
