සුකිනි වගාකරුවෝ අසරණ වෙති
නිසි මිලකට අළෙවි කර ගැනීමට නොහැකිවීමෙන් සුකිනි වගාවේ නිරත තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව ඇතැයි තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් ප්‍රදේශයේ සුකිනි වගාවේ නිරත ගොවියෝ පවසති.
මෙවර සුකිනි වගාවේ අස්වැන්න විශාල වශයෙන් ලැබී ඇති බවත්, එහෙත් එම අස්වැන්න නිසි මිලකට අලෙවි කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති බවත්, මේ හේතුවෙන් තම පවුල්වල එදිනෙදා ජීවිකාව රැගෙන යාමට අසීරු වී ඇතැයි ගොවීහූ කියති.
විශාල සුකිනි අස්වැන්නක් තම වගා බිම්වලින් මෙවර ලැබී ඇතත් ඒවා මිලදී ගැනීමට පිටස්තර වෙළෙන්දන් නොඑන බවත්, වගා කටයුතු සිදු කිරීමට ණය වූ මුදල් ගෙවා ගැනීමට හා ඉදිරි වෙනත් එළවළු වගා සිදු කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සුකිනි වගාවේ නිරත ගොවීහූ පවසති.මේ සම්බන්ධයෙන් සුකිනි වගාවේ නිරත සුමිත්‍රා මහත්මිය මෙලෙස කීවාය.
“අපේ පවුල් ජීවත් වන්නේ උඩරට එළවළු වගාවන් සිදු කොට ඒවායින් ලැබෙන ආදායමෙන්. රට තුළ ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අපේ වගා බිම්වල සිටුවන ලද එළවළු වගාවන් සම්පුර්ණයෙන් ගංවතුරට ගසා ගෙන ගොස් විනාශ උනා. ඉන් අපිට විශාල පාඩුවක් සිදු උනා. අපි ගොවිතැනේ නියැලෙන්නේ ණයට මුදල් රැගෙන හා රන් ආභරණ උකස් කොටයි. අපට වෙනත් රැකියාවක් නැහැ. හානියට පත් වගා බිම් සකස් කර ගැනීමට රජය විසින් රුපියල් 25000ක මුදලක් ලබා දුන්නා.
එම මුදල ප්‍රමාණවත් නොවූනත් ඉතිරි මුදල් ණයට ලබා ගෙන අපි වගා බිම් යළි සකසා ගෙන සුකිනි වගා කෙරුවා. එයින් ඉහළ අස්වැන්නක් ලැබී තිබෙනවා. පසු ගිය කන්නයේ වගා බිමට පැමිණ අපෙන් සුකිනි කිලෝවක් රුපියල් 1000 සිට 2000 අතර ගණනට වෙළෙන්දන් මිලට ගත්තා. නමුත් මේ වතාවේ කිසිම මිලකට විකුණා ගන්න බැරි වෙලා තියෙනවා. දැන් අප කල්පනා කරන්නේ වියදම් වූ මුදල හෝ සොයා ගන්නේ කොහොමද කියලයි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා”
සිය අදහස් දැක් වූ සුකිනි වගාකරුවෙකු වන එස්. ක්‍රිෂ්ණමූර්ති මහතා
“පසුගිය ගංවතුර තර්ජනය හේතුවෙන් ගොවියෝ දැඩි පීඩාවට ලක් උනා. අපට සිතා ගත නොහැකි තරම් ගොවිතැනින් පාඩු උනා. වගා කොට තිබුණ බෝංචි, මාලු මිරිස්, සලාද, අර්තාපල් ආදී සියලු එළවළු වර්ග ජලයෙන් හානියට ලක් වුනා. ඉන් යන්තම් හෝ ගොඩට ඒමට මෙවර අප වගා බිම්වල සුකිනි වගා කෙරුවා. එහි අස්වැන්න සරුවට පැවතියත් ඒවා විකුණා ගැනීමට නොහැකි වී සිටිනවා.
වෙළෙන්දන්ට කතා කළත් ඔවුන් සුකිනි මිලදී ගන්න ඔවුන් එන්නේ නැහැ. කීයකට වත් එපා කියනවා. දැන් අපි මේ සුකිනි අස්වැන්න විකුණා ගන්නේ කෙසේ දැයි සිතමින් කල් ගෙවනවා. කල් යන විට සුකිනි ගෙඩි සවුත්තු වෙනවා. අපේ ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසක් සිටිනවා. රජයේ වගකිවයුතු අංශ මැදිහත්ව කඩිනමින් අපගේ සුකිනි අස්වැන්න විකුණා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.”



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

