මෙරට සිදු වූ සීනි බදු වංචාව පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අපරාධ විමර්ශන ඒකකය දැනුම්වත් කර තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සියලුම සාක්ෂි සහ තොරතුරු කමිටුව හරහා ඉදිරිපත් කර තිබෙන බවත් එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභායේ වාර්තාවක් අද (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
"සීනි පිළිබඳ තිබුණු වාර්තාවේ විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ 13ක් තිබුණා. ඒ අතරින් රජයට අහිමි වුණු බදු ආදායම එම කාල සීමා තුළ රුපියල් මිලියන 16,763ක වගේ ප්‍රමාණයක්. සීනි බද්ද රුපියල් 49.75න් අඩු වුණාට සීනි මිල ඒ හා සමානව අඩු වුණේ නෑ. විශාල පාඩුවක් පාර්භෝගිකයන්ට සිදු වුණා. ආනයනය 200%න් වගේ වැඩි වුණා.
මේ නිරීක්ෂණ 13 පදනම් කරලා විගණකාධිපතිවරයා, කෝපා කමිටුව, ගිණුම් කරක සභාව හරහා දැනුවත් කරලා තිබෙනවා අපරාධ විමර්ශන ඒකකයෙන් වහාම පරීක්ෂණයක් කරන්න කියලා. ඒ සඳහා අවශ්‍ය සියලුම සාක්ෂි සහ තොරතුරු අපි ඉදිරිපත් කරලා තිබෙනවා කමිටුව හරහා. මම මේ සභාවෙන් ඉල්ලා සිටිනවා තව කඩිනම් කරන්න කියලා."