ශාසන විරෝධී භික්ෂු සංවිධානයක නියෝජිතයන් පිරිසක් විසින් මහානායක ධූරය ආදී තනතුරු පිහිටුවමින් ඉදිරිපත් කරනු ලබන ධර්ම විනය විරෝධී අදහස් පිළිගැනීමෙන් හා ප්‍රවර්ධනය කිරීමෙන් වළකින ලෙස ත්‍රෛනිකායික ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මල්වතු මහා විහාරයේදී රැස්ව පවත්වන ලද විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටි.
ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලාගේ උපදෙස් හා අනුශාසනා පරිදි මල්වතු මහා විහාරයට ඊයේ (19) රැස්වූ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය පහමුණේ සුමංගල, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම දම්මානන්ද, ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය බලපිටියේ සිරි සීවලී, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා ලේඛකාධිකාරීී පූජ්‍ය අත්තංගනේ ශ්‍රී සාසනරතන යන ත්‍රෛනිකායික මහා ලේකාධිකාරි හිමිවරුන් විසින් පවත්වන ලද විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එම ප්‍රකාශය නිකුත් කෙරුනි.
සිහෙළ ගෞතම සිරි සම්බුද්ධ නිකාය නමින් පිහිටුවාගෙන ඇති නිකාය ශාසන විරෝධී භික්ෂු සංවිධානයක් බවත් එම ශාසන විරෝධී භික්ෂු සංවිධානය පිහිටවූ කණ්ඩායම මගින් සිදුකරන ධර්ම විනය විකෘතිය ඇතුළු අප්රතිකාරී කටයුතු වැළැක්වීම සඳහා ශාසනික හා නෛතික පියවර ගන්නා බවත් ත්‍රෛනිකායික ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දන්වා සිටි.
මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ මෙම ශාසන විරෝධී භික්ෂු සංවිධානයේ නියෝජිතයන් මහානායක ධුරය ආදී තනතුරු පිහිටුවමින් සිදු කරන ලදැයි කියන උපසම්පදා විනය කර්මය එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වංචනික ලෙස රවටා සිදු කරන ලද බවට එකී විහාරාධිපති හිමියන් මල්වතු මහා විහාරය වෙත ලිඛිතව දන්වා තිබෙන බවයි. ඒ අනුව එම උපසම්පදා කර්මය සිදු කර තිබෙන්නේ ධර්ම විනය විරෝධීවයි.
ශාසනික සම්ප්රදාය අනුව එවැනි කටයුත්තක් සිදු කිරීමට නොහැකියි. මේ ආකාරයේ ලාමක මතවාදයන් ප්‍රවර්ධනය කරන කණ්ඩායම් මගින් ඉදිරිපත් කරන ධර්ම විනය විරෝධී අදහස් පිළිගැනීමෙන් වළකින ලෙසත් එම මතවාදයන් ප්‍රවර්ධනය කිරීම ශාසනික පරිහානියට මෙන්ම රටේ ස්වෛරීත්වයට හානිකර හානි කර බවත් දැනුම් දෙන බව ද පැවසීය.
එහිදී අදහස් දක්වමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසා සිටියේ ශාසන විරෝධී කටයුතු කරන ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් ගත යුතු විනය සහ අධිකරණමය ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ අවස්ථාවල සාකච්ඡා කිරීමෙන් පසුව දැනට බලපැවැත්වෙන විහාර දේවාලගම් ආඥා පනතේ 41 සහ 42 වගන්ති වලට සංශෝධන ගෙන ඒම පිළිබඳව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ මූලිකත්වයෙන් රජයට දැනුම් දී තිබෙන බවයි. ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කර අවශ්‍ය නීති නීතිමය බලතල ලබා දෙන ලෙස ජනාධිපතිවරයාට දැනුම්දි තිබෙන බවද පැවසීය.
විනය විරෝධී කටයුතුවල නිරත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට චෝදනා එල්ල වන අවස්ථා තිබෙන බවත් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මේ පිළිබඳව කාලයක් තිස්සේ අවශ්‍ය කටයුතු සිදු කර තිබෙන බවද උන්වහන්සේ පැවසීය.
මේ ආකාරයට ධර්ම විරෝධී විනේ විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂූන් වහන්සේලාට නොරැවටෙන ලෙසත් ගිහි පැවැති දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටින බවද අවධාරණය කළ උන්වහන්සේ ත්‍රිපිටක ධර්මය විකෘති කිරීමගෙන් විශාල ශාසනික පරිහානියක් සිදුවනබවද එවැනි දෑ වලක්වා ගැනීම සඳහා මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ උපරිම උත්සාහය වී තිබෙන බවද අවධාරණය කළේය.
ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහ ලේඛකාධිකාරී පූජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමියන් මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ ඇතැම් භික්ෂූන් වහන්සේලා ශාසන අනුලෝමික මත සමාජගත කිරීමට ජනමාධ්‍ය යොදා ගන්නාා බවයි. එවැනි ශාසන විරෝධී මත දරන කල්ලි කණ්ඩායම් වලට වඩා ට්රයිලිකා එක මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ උපදෙස් මත ක්‍රියාත්මක ලේඛකාධිකාරි වහන්සේලාගේ ප්‍රකාශ වලට වැඩි ප්‍රමුඛස්ථානය ලබා දෙන ලෙසද ජනමාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ ශ්‍රී සාසනරතන හිමියන් අදහස් දක්වමින් පවසා සිටියේ ශාසන විලෝපනය සඳහා කටයුතු කරන යම් යම් භික්ෂූන් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වගේම නිකාය කාරක සංඝ සභා මගින් ගන්නා තීන්දු තීරණ වලට පටහැනිව කටයුතු කරමින් සිටින බවත් මෙම තත්ත්වයන් ඉවත් කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද පැවසීය.