ගීතාංජලී ප්‍රියදර්ශනී
කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ කුරුණෑගල මූලස්ථාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ඊයේ (14) නියෝග කළේය.
මාවතගම අඹකොටේ රන්ගලගම පදිංචිකරුවෙකු වන 55 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ඇප මත මුදා හැරිණි. සැකකරු විවාහක දෙදරු පියෙකි.
තම දරුවන්ට සැකකාර ගුරුවරයා ලිංගික අතවර සිදු කළ බවට දෙමාපියන් පිරිසක් විසින් කරන ලද පැමිණිලි මත විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගත් බව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුණෑගල මූලස්ථාන පොලීසිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරීන් සඳහන් කළහ.
සැකකරු දඬුවම් මාරුවක් ලැබ මීට මාස තුනකට පමණ ඉහතදී මෙම පාසලේ සේවය සඳහා පැමිණි අයෙකු බවද පොලීසිය අධිකරණය හමුවේ පැවසීය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කීර්ති ජී.දුනුසිංහ මහතා අධිකරණයට කියා සිටියේ තම සේවාදායකයා සමඟ අමනාපයෙන් සිටින පිරිසක් ඔහු සහ විදුහල්පතිවරයා අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.
පැමිණිල්ල විසින් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර ශරීර ඇප සඳහා ඉදිරිපත් වන පුද්ගලයන් එම ඇප ඉදිරිපත් කළ හැකි ආදායම් සහිත පුද්ගලයන් බවට පිළිගත් ආදායම් සහතික අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවට නියම කළේය.
එසේම සැකකාර ගුරුවරයාට ඉතා දැඩි ලෙස අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා පැමිණිලි පාර්ශ්වයට බලපෑමක් ඇති වන ආකාරයට කටයුතු නොකළ යුතු බවද එසේ කළ බවට සනාථ වුවහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බවද දන්වා සිටියේය.
එමෙන්ම නඩු කටයුතු අවසාන වන තෙක් සැකකරුට එම පාසල වෙත ඇතුළු වීමද මහේස්ත්‍රාත්වරයා තහනම් කළේය. මීට අමතරව සතියේ සෑම ඉරු දිනකම කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත ගොස් අත්සන් කළ යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතාගේ උපදෙස් අනුව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සිද්ධිය වාර්තා වීමත් සමගම ඒ පිළිබඳව අවධානය යොමු කළ වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සැකකාර ගුරුවරයා ඉක්මණින් අත්අඩංගුවට ගෙන ඔහු සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට නියම කර ඇත.
ඊට අමතරව සැකකාර ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසද ආණ්ඩුකාරවරයා වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයාට, වයඹ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරියට සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට උපදෙස් දී ඇත.
මෙම සිදුවීමේදී එම පාසලේ විදුහල්පතිවරයා ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ ආණ්ඩුකාරවරයා විසින් කළ නියමයකට අනුව විදුහල්පතිවරයා එම තනතුරෙන් ඉවත් කර කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සංචිතයකට ඊයේ (14) දින සිට යොමු කර ඇත.