පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ බාල පොහොර ගෙනවිත්, ප්‍රමිතියෙන් යුත් පොහොර බවට වෙනත් මළුවල අසුරා මහා පරිමාණ ජාවාරමට සම්බන්ධයෙන් ඉකුත් 14 වෙනිදා පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකපිට අත්අඩංගුවට ගත් එහි කළමනාකාරවරයා, රියදුරු, ඇතුළු සේවකයින් 12 දෙනා සිරිපුර පොලිසිය මගින් 14 වෙනිදා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් මේ මස 28 වෙනිද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ලෙසට එහි මහේස්ත්‍රාත් එස්.එම්.ටී.බී.හාල්යාල නියෝග කළේය.
මෙම වැටලීමේදී ගබඩාවේ ඇසුරුම් කරන ලද බාල පොහොර මිටි 1965 ක්, එලෙස ඇසුරුම් කිරීමට තවත් සඟවා තිබූ මළු දහතුන්දාස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක්, සී.අයි.සී සමාගමේ නම් සදහන් ව්‍යාජ බ්ලොග් කීපයක්, ඒවා කැපීමට යොදාගත් මැෂින් තුනක්,ලොරි රථ හතරක්, පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශනය අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ප්‍රධාන සැකකරු සමාගම් කිහිපයකින් සියයට විසි එකක් නයිට්රජන් පවතින බාල පොහොර ගෙන්වා, එම පොහොර සී.අයි.සී නම් සඳහන් මළුවලට පුරවා, කිලෝ පනහේ පොහොර මිටියක් රුපියල් 13,650 ක ව්‍යාජ මිලක් සටහන් කර පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සී කලාපවල අලෙවි නියෝජිතයින්ට මෙන්ම ගොවීන්ට අලෙවි කර ඇති බවටද පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
එලෙස ගොවීන් ලබාගත් බාල පොහොර වගාවට යෙදීම හේතුවෙන් වී වගාව කහ ගැන්වී් අස්වැන්නද අඩුවී ඇති අතර මෙම ප්‍රධාන ජාවාරම්කරු වසර කිහිපයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට පොළොන්නරුව කොට්ඨාශය අපරාධ විමර්ශන අංශයේ නිලධාරියකු සඳහන් කළේය.
මෙම වැටලීම සිදුකිරීමේදී ප්‍රධාන ජාවාරම්කරු පළාගොස් ඇති අතර,නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි,පොළොන්නරු දිස්ත්‍රීක් ලේකම් සුජන්ත ඒකනායක මහතා ඇතුළු කණ්ඩායමක් එම ගබඩාව නිරීක්ෂණ කිරීමට ගිය අවස්ථාවේදී ලැබුණු තොරතුරක් මත, ප්‍රධාන ජාවාරම්කරුවට අයත් ගෙවතු දෙකක තිබී වෑන් රථයක්, ජීප් රථයක්, සහ ට්‍රැක්ටර් රථයක්ද පොලිසිය විසින් සොයාගනු ලැබූහ.
ප්‍රධානය ජාවාරම්කරුගේ ගබඩාවට මේ වනවිට මුද්‍රාතබා ඇති අතර, මෙම පොහොරවල සාම්පල් මෙනම ව්‍යාජ ඇසුරුම් මලු පොහොර ලේකම් කාර්යාලට මෙන්ම පාරිභෝගික සේවා අධිකාරිය විසින් පරීක්ෂණ සඳහා ගෙන ගොස් ඇති බවද සිරිපුර පොලිසිය කියයි.
මනම්පිටිය නිමල් ජයරත්න


