රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මත ඉදීරියේදී ආහාර හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බව විද්වතුන් විසින් පෙන්නුම් කර දී ඇති පසුබිමක රටක් ලෙස මෙම තත්ත්වයට මුහුණදීමට අප සැවොම එක්ව ඉතා වගකීමෙන් වැඩ කළ යුතුයි. රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවීම හා ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසූයේ මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක් සමග ඊයේ (01දා) තරුණ හා යෞවන කටයුතු අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවක් අතරතුර දීය.
එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද අදහස් දැක්වීය.
රටේ තරුණ ප්‍රජාව මෙම කාර්යය සදහා සෘජුවම දායක කරගැනීම සදහා වූ විධිමත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට තරුණ ප්‍රජාව භාර තම අමාත්‍යාංශය කටයුතු කළ යුතුයි. අවුරුදු 15 සිට අවුරුදු 29 දක්වා වයස් පරතරයේ පසුවන ලක්ෂ 50කට ආසන්න තරුණ තරුණියන් ඉලක්ක කර නව වැඩසටහන් දියත් කිරීම හරහා පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනයන්ගෙන් රට මුදවා ගැනීමට කටයුතු කිරීම වඩා යෝග්‍ය වේ.
ලක්ෂ 17කට වැඩි රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන් හට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ නිවසේ සිට රාජකාරි කිරීමට ලැබෙන දිනවල දී නිවසේ වගා කටයුතු සිදු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දිය යුතුයි.
නිවස අවට භූමියේ තම පරිභෝජනය සදහා වගා කටයුතු සිදු කිරීමට පහසුකම් සැළසීම හා තමන් විසින්ම වගා කර ආහාර ද්‍රව්‍ය සකස් කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් දියත් කිරීම කාලෝචිතයි වන අතර එය ක්‍රියාවට නැංවීම සදහා රාජ්‍ය ආයතන අතර යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.