අපවත් වී වදාල ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය අනිද්දා (05) ගාල්ල, යටගල රාජ මහා විහාරස්ථ ආදාහන මළුවේදී සිදුකරන බව සිතුල්පව්ව රාජමහා විහාරස්ථ දායක සභාව කියයි.
නාහිමියන්ගේ ශ්‍රී දේහය අද (03) උදෑසන සිට අද (04) පෙ.ව 9.00 වන තෙක් සිතුල්පව්ව රාජමහා විහාරස්ථ ධර්ම මන්දිරයේ මහජන ගෞරවය සදහා තැල්පත් කර තබන අතර දේහය හෙට (04) පෙ.ව 9.30 ට විශේෂ රථ පෙරහැරකින් ගාල්ල, යටගල රාජමහා විහාරස්ථානය දක්වා රැගෙන ඒමට නියමිතය.
දේහය අද (04) දහවල් සිට හෙට (05) සවස 2.00 දක්වා යටගල රාජ මහා විහාරස්ථ ධර්ම මන්දිරයේ තැන්පත් කර තබන බව ආහාහන කමිටුව කියයි.
කොළඔ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය දෙසැම්බර් 01 දින දහවල් අපවත් වූ නාහිමියන්ගේ ශ්‍රී දේහය 02 දින දහවල් ගාල්ල, යටගල රාජමහා විහාරස්ථානයට රැගෙන විත් එදින (02) රාත්‍රියේම සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය වෙත රැගෙන යෑමට කටයුතු කර තිබුණි. ඵෙතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය මැටරඹ හේමරතන නාහිමිපාණෝ අපවත් වන විට 83 වැනි වියේ පසුවිය.
උණවටුන, මැටරඹ පදිංචිව සිටි අහංගම නානායක්කාර ගමගේ ජේමිස් නානායක්කාර හා අක්මීමන පල්ලිය ගුරුගේ ඇලිස් නෝනා හෙවත් යටගම හාමිනේ දෙදෙනාට දාව දරුවන් හය දෙනකුගෙන් යුතු පවුලේ පස් වැන්නා ලෙස 1942 දී උන් වහන්සේ උපත ලැබීය.
නාහිමියන්ගේ ගිහිකල නාමය වූයේ නානායක්කාර ගමගේ නෙල්සන් නානායක්කාරය. 1956.04.05 වැනි දින ගාල්ල, යටගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ ඉලුප්පිටියේ ජිනරතන, වත්තේහේනේ රතනසාර හා වත්තහේනේ පියරතන යන නාවරුන්ගේ ආචාර්යත්වයෙන් මැටරඹ හේමරතන නමින් පැවිදි දිවියට එක් විය.
ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය, ගාල්ල යටගල රජමහා විහාරය, ඓතිහාසික මගුල් මහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක විහාරාධිපතිත්වය උන් වහන්සේ හෙබවූහ. උන්වහන්සේ වන්දනා ගාථා, හින්දු ආර්ය සංස්කෘතිය, ඓතිහාසික මඟුල් මහා විහාරය, උසස් පෙළ බෞද්ධ ධර්ම සංග්‍රහය, ලේඛන රේඛා ඇතුළු ධර්ම ග්රන්ථ හා සාහිත්‍ය ග්රන්ථ රැසක් ද රචනා කර තිබේ.