සෑම වගකීමක්ම රට ගොඩනැගීම සඳහා දක්වන දායකත්වයේ කොටසක් ලෙස සලකන්න
පසුගියදා මුහුණ දීමට සිදු වූ ව්‍යසනය ස්ථාවර සහ ක්‍රමිකව ගොඩනගමින් තිබු මෙරට ආර්ථිකයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් බවත්, එවන් අභියෝගයක් හමුවේ සියලු දෙනා වෙත පැවරෙන වගකීම වන්නේ පලා යාම හෝ කණස්සලට පත් වී කම්පාවෙන් බලා සිටීම නොව රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එම ව්‍යසනය හමුවේ නාවික හමුදාව ඉටු කරන ලද කාර්යභාරය විශාල බවත්, විශේෂයෙන් කලාඔය වහළ මත මරණ බිය අත්විඳිමින් සිටි ජනතාවට ජීවත්වීමේ අපේක්ෂාව ලබාදෙමින් සහ අහිමී වීමට ගිය ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගනිමින් නාවික හමුදාව ඉටු කරන ලද මෙහෙවර කෘතවේදීව අගයන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී ඊයේ (13) පස්වරුවේ පැවති අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළිය අමතමිනි.
ඊයේ පස්වරුවේ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත පැමිණි සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නාවික හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි.
2024/03 බඳවාගත් නිලධාරීන් 08 දෙනෙක්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 40වන බඳවා ගැනීමේ නිලධාරීන් 33 දෙනෙක් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 65 වන ශිෂ්‍යභට බඳවාගැනීමේ නිලධාරීන් 28 දෙනෙක් මෙහිදී විසිර ගියහ.
පුහුණුවීම් කාල සීමාව තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් හට සම්මාන ප්රදානය කිරීම සහ අධිකාරියට පත් නිලධාරීන් සඳහා අසිපත් පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
ව්‍යසනය හමුවේ ජීවිත බේරා ගැනීමට ගොස් ජීවිත පරිත්‍යාග කළ නාවික හමුදා නිලධාරීන් වෙනුවෙන් සිය ප්‍රණාමය පළ කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.
අද රටක් ලෙස මුහුණ දී සිටින විශාලතම අභියෝගය වන මත්ද්‍රව්‍ය උවදුරින් රට මුදා ගැනීමට නාවික හමුදාව ඉටු කරන කාර්යභාරයද ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ජාතිය ගලවා ගැනීමට ගත යුතු සෑම පියවරක්ම රජය ගන්නා බවත්, මාතෘ භූමිය එම ව්‍යසනයෙන් ගලවා ගැනීමට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
ජනාධිපතිවරයා ලෙස තමාටත්, නාවික හමුදාපතිවරයාටත්, සියලු නිලධාරීන්ටත් ධූරය අනුව වෙනස් වගකීම් පැවරී තිබුණද එම සෑම වගකීමක්ම ස්ථාවර රාජ්‍යයක් වෙනුවෙන් අවශ්‍ය බවත්, රටක් ඉදිරියට ගෙන යා හැක්කේ තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු කිරීමෙන් පමණක් බවත් ජනාධිපතිවරයා පැවසීය. එබැවින් කිසිදු වෘත්තීයක් හෝ වගකීමක් දෙවැනි කොට සැලකිය යුතු නැති අතර සෑම වගකීමක්ම රට ගොඩනැගීම සඳහා දක්වන දායකත්වයේ කොටසක් ලෙස සැලකිය යුතු බවද සඳහන් කළේය.
මෙරට ඉතා ගෞරවාන්විත සහ විනයක් සහිත නිර්භීත හමුදාවක් වන නාවික හමුදාවට එක්වීම පිළිබඳ මෙහිදී සියලු දෙනාට ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා අද දින සිට තම දෙවුර මත පැවරෙන වගකීම නිසි ලෙස ඉටු කරන නිලධාරීන් බවට පත්වන්නැයි ආරාධනා කරමින් විසිර ගිය සියලු නිලධාරීන් වෙත ජයග්‍රාහී වෘත්තීය ජීවිතයකට සුබපැතුම් එක් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
