සෑම රෝහලකම මාසයකට වරක්වත් ඖෂධ සමාලෝචන රුස්වීම් පවත්වන්න
සෑම රෝහලකම මාසයකට වරක්වත් ඖෂධ සමාලෝචන රුස්වීම් පැවැත්විය යුතු බවත්, එමගින් ප්‍රධාන ඖෂධවේදියාට රෝහලේ පවතින ඖෂධ පිළිබඳ සියලු විස්තර ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙනවා සේම රෝහල් අධ්යක්ෂවරයා ඇතුලු පාලන අධිකාරිය සමග සම්බන්ධ වී ඖෂධවල යම් හිඟතාවයක් ඇතිවීමට කළින් එය හදුනා ගෙන ඊට නිසි පිළියම් යෙදීමට මෙන්ම ප්‍රාදේශීය මිලදී ගැනීම් හෝ සිදුකර රෝහල තුළ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට එම ඖෂධ සමාලෝචන රැස්වීම අතිශය වැදගත්වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේබව සදහන්කර සිටියේ ඊයේ (10) මාතර දිස්ත්‍රික් මහ රෝහලේ සහ මාතර දිස්ත්‍රික් නව මහ රෝහල් ද්විත්වයේ විධිමත්, කාර්යක්ෂම රෝගී ප්‍රතිකාර හා සත්කාර සේවාවක් පවත්වාගෙන යාමට මේවනවිට මතුවී ඇති ප්‍රායෝගික ගැටලුවලට විසදුම් ලබා දීම වෙනුවෙන් එම රෝහල් හි සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවෙන් පසුව පැවති සාකචජාමය අවස්ථාවේ අදහස් දක්වමින්ය.
රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කරගනිමින් රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා ඒවාට කඩිනම් විසදුම් ලබාදෙමින්, මෙරට ජනතාවට ගුණාත්මක හා විධිමත්,කාර්යක්ෂම සුව සත්කාර සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අදහසකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති විශේෂ වැඩපිළිවෙලට අනූව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදි.
එහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සෑමවිටම රෝහල්තුළ ඉදිරියට අවශ්‍ය ඖෂධ ධාරිතාවයක් පවත්වාගෙන යාමට හැකියාව ඇත්නම් එය ඖෂධ සම්බන්ධයෙන් ඇතිවන ගැටලු වලට සාධනීය විසදුමක්බව පෙන්වා දුන්නේය. සෑම විටම සෞඛ්‍ය අමාත්‍යාශය ලෙස වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ සැපයුම් ජාලය යථාවත් කිරීමට කටයුතුකරන බව පැවසූ අමාත්‍යවරයා එයට ද ප්‍රායෝගික ගැටලු යම් අවස්ථාවල ඇතිවන බව ද පැවසීය.
මාතර දිස්ත්‍රික් මහරෝහල ඉදිරි වර්ෂ කිහිපයතුළ දී මාතර නව දිස්ත්‍රික් මහ රොහල් පරිශ්‍රයේ ස්ථාපිත කරන බවත්, මේ වන විටත් සමහර අංශ නව රෝහලේ ස්ථාපිත කර ඇති බැවින් ඊට සරිලන පරිදි අවශ්‍ය ආකාරයෙන් රෝහලේ ඉදිරි සැලසුම් සකස් කිරීමට පියවර ගන්නාමෙන් අධ්‍යක්ෂවරිය ඇතුලු කාර්ය මණ්ඩලයට අමාත්‍යවරයා මෙහි දී උපදෙස් ලබා දීමටද පියවර ගත්තේය .
සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා රෝහල් ද්විත්වයේ වාට්ටු, සායන පරිශ්‍ර, බාහිර රෝගී අංශ,රසායනාගාර, හදිසි ප්‍රතිකාර අංශ, නව ඉදිකිරීම් ව්‍යාපෘති, හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකක, ඖෂධ ගබඩා ඇතුළු අංශ නිරීක්ෂණය කරනු ලැබු අතර රෝහල් කාර්යමණ්ඩලය මෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව සමග ද කතා බහක නිරත වෙමින් පවතින ප්‍රායෝගික ගැටළු පිළිබදව ද විමසන ලදී.
නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් පරිපාලනය සමග විශේෂ සාකච්ජාවක නිරතවූ නියෝජ්‍ය අමාත්‍යවරයා රෝගී ප්‍රතිකාර සේවාවන් තවතවත් විධිමත්ව පවත්වාගෙන යාම සදහා ඔවුන්ගෙන් දීර්ඝව කරුණු විමසමින්, පවතින ගැටළු වලට එම වේලාවේදීම විසදුම් ලබා දීමට ද පියවර ගන්නා ලදී. එම මොහොතේ විසදුම් ලබා දීමට නොහැකි ගැටළුවලට ඊට අඳාළ නිලධාරීන් දුරකතනයෙන් සම්බන්ධ කරගනිමින් එම ගැටළු නිරකරණය කිරීමට ද අමාත්‍යවරයා පියවර ගත්තේය.
අදියරෙන් අදියර රෝහලම ආරවණයවන පරිදි ඩිජිටල්කරණය කිරීම, ඒ තුළින් බාහිර රෝගී අංශයට හා සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට කෙටි කාලයක් තුළදී ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීම, රෝහලට ප්‍රධාන සැලසුමක් සකස් කිරීම, පැරණි රෝහල හා නව රෝහල අතර ප්‍රවාහන පහසුකම් විධිමත් කිරීම, කාර්ය මණ්ඩල ප්‍රමාණය ඉහළ නැංවීම, කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබාදීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා ගැනීම, වැනි කරුණු පිළිබඳව මෙහි දී විශේෂ අවධානයක් යොමුකර සාකච්ජාවට භාජනය විය.
මාතර දිස්ත්‍රික් මහ රෝහල 1998 වර්ෂයේ මහ රෝහලක් ලෙස උසස් කර ඇති අතර මේ වන විට රෝහලේ ඇදන් ධාරිතාවය 945කි. 2700කට ආසන්න කාර්ය මණ්ඩලයක් එහි සේවය කරනු ලබයි. මාතර දිස්ත්‍රික්කයේ සහ අවට ප්‍රදේශවල ජනතාවට ප්‍රතිකාර හා සත්තාර සේවාවන් සපයන ප්‍රධාන රෝහල මෙය වේ.
කොරියානු ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සිහිවටනයක් ලෙස ගොඩනැගුණු මාතර නව මහ රෝහල 2013 වර්ෂයේ දී ප්‍රතිකාර සේවාවන් සදහා එක්කර ඇත.
මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගමැද්දගේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගලගම, නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වරුන්වන විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන්, වසන්ත කුමාරසිංහ, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය උදුලා විදානගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්වන වෛද්‍ය ජයංගා රණසිංහ, වෛද්‍ය දිනුක චන්ද්‍රසේන යන මහත්ම මහත්මින් ඇතුළුව පරිපාලන නිලධාරීන්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය වන පරිදි කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

