සිය සැමියාගේ අවමගුල් කටයුතු සිදුකළ දා රාත්‍රී බිරිඳ සිය දරුවන් තිදෙනෙකු සමග වස පානය කොට මියයාමේ පුවතක් මාලඹේ පොලිස් වසමෙන් වාර්තාවේ.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාකුඹුර ලක්ෂරි හයිවේ රෙසිඩන්ස්හී තාවකාලිකව පදිංචිව සිටි උදාරි නිසංසලා සේනාරත්න මව, (35) ආදිත්‍ය ප්‍රතාප ගුණරත්න (09) ආර්යා ප්‍රතාප ගුණරත්න ( 07) අරද්‍යා ප්රභාවි ගුණරත්න (06) යන තිදෙනකු බව මාලඹේ පොලිසිය කියයි.
මියගිය කාන්තාවගේ සැමියා වන රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය ලක්ෂරි හයිවේ රේසිඩන්සි නිවාස සංකීර්ණයේදී පසුගියදා වස පානය කොට මිය ගොස් තිබූ අතර පසුව හොමාගම මූලික රොහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණේ කිසියම් විසක් ශරිර ගතව වීමෙන් මියගොස් ඇති බවයි.
ඒ අනුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහුගේ සහෝදරයාට අයත් මාලඹේ කහන්තොට පාර අංක 107/B නිවසේදී ඉකුත් 30 දා සිදුකළ අතර ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන් තිදෙනා එදින රාත්‍රි ඥාති සහෝදරයාගේ නිවසේ රැඳී සිට ඇති බවත් මරණය හේතුවෙන් බිරිඳ ඇතුළු දරුවන් දැඩි කනස්සල්ලෙන් සිට ඇති බවත් පැවසේ.
මේ අතරතුරදී 31 දා අලුයම 01 පමණ දරුවන්ගේ කෑ ගැසීමක් ඇසී නිවැසියන් දොරගුලු ලා තිබූ දොරකඩා ඇතුළු වී බැලීමේදී ඔවුන් වස පානය කොට ඇති බව අනාවරණය වීමත් සමග ක්ෂණිකව ක්‍රියාත්මක වී ප්‍රතිකාර සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ සිව් දෙනා මියගොස් ඇති බවයි.
ඒ අනුව මියගිය සිව් දෙනාගේ මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර ස්ථානීය පරීක්ෂණය සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කරන ලදී.
පසුව සිද්ධිය වූ ස්ථානය මහේස්ත්‍රාත් පරීක්ෂණයකට ලක් කළ අතර මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු ලවා සිදුකොට එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර තිබේ.
මෙසේ වස පානය කොට මියගිය පුද්ගලයා සහ බිරිද අධික ලෙස ආගම දහමට නැඹුරුව සිට ඇති අතර සෑම ගැටලුවකදීම බැරෑරුම් ලෙස සිතීමෙන් මානසික පීඩනයකට ලක්වන අයවලුන් වන අතර සිය සැමියාගේ වියෝවෙන් දැඩි කම්පනයට හා පීඩනයට ලක්ව සිටියදී මෙසේ දිවි හානි කරගෙන ඇති බවත් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
වස පානය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මාලඹේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිත් ජයමහ මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ පවත්වති.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
