හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා හා ඔහුගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියහ. ඒ ඔවුන් දෙදෙනාට එරෙහිව පවතින නඩු දෙකක විභාග කටයුතු වෙනුවෙනි.
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකට එරෙහි නඩුවේ විභාගය අද එම අධිකරණයේ පැවැති අතර විමල් විරවංශ මහතා ඒ සඳහක් එක්විය.
එම නඩුව ලබන අගෝස්තු මස 29 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (30) නියෝග කළේය.
මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය ගොනු කළ අභියාචන ඉල්ලීම වෙනුවෙන් ඇය අද දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියාය. එම ඉල්ලීම හෙට 31 දා සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද 30 නියෝග කළේය .
මෙම සිද්ධියට අදාළ අභියාචන ඉල්ලීම සලකා බැලීම සඳහා අද 30 තෙක් කල් තැබීමට ඉකුත් 27 වැනි දා අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබුණි.
ඒ අනුව සිරකාර ශෂී වීරවංශ මහත්මියව අද (30) බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණ.
අදාළ නඩු දෙකට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඉකුත් 27 වැනිදා නියම කළේය.