2016 වසරේ දී කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරීමෙන් තැන තැන විසිරුණු අවි ආයුධ කොටස් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයන් වේනම් ඒවා වහා පොලිසියට භාරදෙන ලෙස දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පොලිසිය සහ හමුදාව එක්ව සිදුකරන බව සීතාවක පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සාලාව කදවුර ආසන්න නිවසක තබාගෙන තිබූ මෝටාර් උණ්ඩයක කොටසකට 15 හැවිරිදි සිසුවෙක් මිටියකින් පහර දීම හේතුවෙන් එය පිපිරීමෙන් බරපතළ තුවාල ලද එම සිසුවා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන බව එම උසස් නිලධාරියා කීය.
පොලිස්පති සි ඩි වික්රමරත්න මහතාගේ නියෝග මත සීතාවක පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානවල නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් කිහිපදෙනකු කණ්ඩායම කීපයකට බෙදී හමුදා කදවුර අවට ග්රාම සේවා වසම් වල සංචාරය කරමින් ඒ පිළිබඳ නිවැසියන් දැනුම්වත් කිරීම මේ දිනවල සිදුකරන බව එම උසස් නිලධාරියා සඳහන් කළේය.
එවැනි අවි කොටස් තිබේ නම් වහා පොලිසියට භාර දෙන ලෙස එමගින් ඉල්ලා සිටින බවත් එලෙස කැමැත්තෙන් බාර දෙන කිසිදු අවි කොටසකට එරෙහිව නීති මගින් කටයුතු නොකරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.