සාම පාගමන අනිද්දා ඇරඹෙයි
ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී හෙට (21) ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ‘Walk for Peace’ සාම පාගමන අනිද්දා (22) දඹුල්ලෙන් ආරමභ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පූජ්‍ය ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන්වහන්සේ පවසති.
මෙම සාම පාගමන සඳහා ඇමරිකාවේ පැවති සාම පාගමනට නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ දොළොස් නමක් හෙට (21) මෙරටට වැඩම කිරීමට නියමිතය.
එළඹෙන අප්‍රේල් 22 වැනිදා සිට 28 වැනිදා දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය ප්රමුඛ පිරිස මෙම සාම පාගමනේ නිරත වීමට නියමිතය.
අප්‍රේල් 21 වැනිදා, ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පාගමන ආරම්භ කෙරේ. අටමස්ථානාධිපති හිමියන් ප්රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබාගන්නා ශ්‍රී මහා බෝධියේ අංකුරයක්ද මෙම පාගමන සමඟ වැඩම කරවීමට නියමිතය.
ඊට අමතරව, ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන විශේෂ ආගමික වතාවත් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව වෙත සාමයේ පණිවිඩය ප්‍රචාරය කෙරේ.
අප්‍රේල් 22 වැනිදා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව, දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන මෙම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර සහ කැලණිය හරහා ගමන් කරමින් අප්‍රේල් 28 වැනිදා කොළඹ නිදහස් චතුරස්රයට ළඟා වීමට නියමිතය.
පාගමනේ නිමාව සනිටුහන් කරමින්, එහි වැඩම කරවන ශ්‍රී මහා බෝධියේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත රාජ්‍යතාන්ත්‍රික වශයෙන් භාර දීමට නියමිතය.
මෙම සාම පාගමන සඳහා “Clean Sri Lanka” ලේකම් කාර්යාලයේ දායකත්වය යටතේ භික්ෂූන් වහන්සේ සඳහා දානය හා ගිලන්පස සූදානම් කිරීම, සනීපාරක්ෂක කටයුතු සහ ආරක්ෂාව ඇතුළු සියලු සංවිධාන කටයුතු සූදානම් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
