ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ නියෝජිතයන් හා සමගි ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (03දා) පෙරවරුවේ පවත්වා තිබේ. මෙහිදී ජාතික එකඟතා ආණ්ඩුව පිළිබඳව, විශ්වාසංභංග යෝජනාව හා නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡාවට පත්ව තිබේ.
පළමු වටයේ සාකච්ඡා සාර්ථක වී ඇති අතර නැවතවරක් ඔවුන් සාකච්ඡාවක් පැවැත්වීමට එකඟ වී තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා,
“සමගි ජන බලවේගය සමග අද අපි පස්දෙනාගේ කමිටුව සාකච්ඡා ආරම්භ කළා. අපි බලාපොරොත්තු වන්නේ ලබන පාර්ලිමේන්තු සතිය පසුගිය පාර්ලිමේන්තු සතිය වගේ පත්නොවී රටේ මේ ඇතිව තිබෙන අර්බුදයට විසඳුමක් නොදෙන පාර්ලිමේන්තුවක් බවට පත්නොවී පෞද්ගලික කැමති අකමැති කවුරු වුණත් හැම පාර්ශ්වයක් සමගම සාකච්ඡා කරලා යම්කිසි එකඟතාවයක් ඇති කිරීමට අපි උත්සාහ කරනවා.
ස්වාධින වූ මන්ත්‍රී පිරිස නියෝජනය කරමින් නිමල් සිරිපාලද සිල්වා, දයාසිරි ජයසේකර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, නිමල් ලන්සා යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්වූ අතර සමගි ජන බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක යන මහත්වරු එක්ව තිබේ.