සහල් මෝල්වලින් අවශ්‍ය පරිදි සහල් වෙළෙඳ පොළට නිකුත් නොකිරීම හේතුවෙන් රට පුරා දේශීය සහල් හිගයක් පවතින බවත් විදේශීය සහල් ද ඉතා සීමිත ප්‍රමාණයක් පවතින බව සහල් වෙළෙන්දෝ පවසති.
සහල් හිඟය පිළිබඳවව දඹුල්ල තොග සහල් අලෙවි කරන ස්ථාන වලින් විමසීමේදී කියා සිටියේ මහා පරිමාණ සහල් මෝල් වලින් මේ වන විට සහල් නිකුත් කිරීම අත්හිටුවා දින කිහිපයක් ගතවන බවය.
මෙම හේතුව නිසා තොග වශයෙන් සහල් අලෙවි කිරීම සම්පූර්ණයෙන් නවතා දමා වෙළදසැල් වල ඇති සීමිත සහල් තොග ජනතාවට සිල්ලරට විකිණීම සිදු කරන බවද ඔවුහු පවසති.
සහල් මෝල් හිමියන් වී හිගයක් ඇති බව පවසා සහල් ලබා නොදෙන බව ද සහල් කිලෝවක් රුපියල් දෙසිය හතළිහකට පමණ ඉහළ දැමීමේ සූදානමක් පවතින බවද සහල් අලෙවි කරුවෝ පවසති.
ඇතැම් වෙළඳසැල් වල දේශීය සහල් අලෙවිය සඳහා නොමැති බවද ඇතැම් වෙළඳසැල් වල ඉතා සීමිත ප්‍රමාණයක් තබාගෙන තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් දේශීය සම්බා . කැකුළු, නාඩු ,සහල් කිලෝ එකක මිල රුපියල් 210 සිට 240 දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බව පාරිභෝගික ජනතාව පවසති
සහල් මිලදී ගැනීම සඳහා පැමිණි සිල්ලර වෙළෙඳ සැල්වල හිමිකරුවන් කියා සිටියේ සහල් වෙළඳසැල්වලින් නිකුත් නොකිරීම නිසා ග්‍රාමීය ප්‍රදේශවලට සහල් රැගෙන යෑමට නොහැකි වී ඇති බව ය.
පාරිභෝගික ජනතාව කියා සිටින්නේ රට තුළ සහල් මාෆියාවක් ක්‍රියාත්මක වන බව ය. මහා පරිමාණ වී මෝල් වල ඇති තොග වහාම එළියට දමා මෙම සහල් හිඟයට විසඳුම් ලබා දෙන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව ඔවුහු පවසති.
ඇතැම් සුළු හා මධ්‍ය පරිමාණ සහල් අලෙවි කරන්නන් කියා සිටියේ මහා පරිමාණ සහල් මෝල් වල ඕනෑතරම් වී හා සහල් තොග සඟවා ඇති බව ය මේ හේතුවෙන් මුළු රටේම සහල් හිඟයක් මවා පෑමක් සිදුවන බවද එම ජනතාව වැඩි දුරට ද පෙන්වා දෙති.
කෙසේ වෙතත් එම වෙළෙන්දන් කියා සිටියේ වහාම යුද හමුදාව යොදවා මෙම සහල් මාෆියාව මර්දනය කිරීම සඳහා රජය පියවර ගත යුතු බව ය.
සහල් අලෙවි කරන වෙළෙඳ සැල් හිමියන් තම ගමබඩා පවා පෙන්වමින් මේ වන විට සහල් නොමැති බව කියා සිටී, එමෙන්ම මහා පරිමාණ සහල් නිෂ්පාදනය කරන පිරිස් දුරකථන ඇමතුමකට වත් සම්බන්ධ නොවී සිටීම බර පතළ ප්‍රශ්නයක් බව සහල් අලෙවිකරණ ව්‍යාපාරිකයෝ පවසති.
