සහල් සදහා පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීමත් සමගම මේ වෙනකොට වෙළෙදපොළට හිගයකින් තොරව සහල් ලැබෙන බවයි ව්‍යාපාරිකයන් පවසන්නේ.
කෙසේ වෙතත් සහල් මිල නියම කිරීමට සහල් මෝල් හිමියන්ට කිසිසේත්ම හැකියාවක් නැති බවත් ඒ හැකියාව තියෙන්නේ රජයට පමණක් බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කරන්නේ.
සහල් සදහා පාලන මිලක් නියම කරමින් පනවා තිබූ විශේෂ ගැසට් පත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒත් සමගින් මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය සහල් වර්ග තුනක නව සිල්ලර මිල නිවේදනය කිරීමට ක්‍රියා කළේ ඊයේ දිනයේදී. ඒ නාඩු කිලෝවක සිල්ලර මිල රුපියල් 115 ක් ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 140 ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 165 ක් වශයෙන්.
ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 62 යි ශත පනහකටත්, සම්බා වී රුපියල් 70 කටත් , කීරි සම්බා වී රුපියල් අසූවකටත් මිලදී ගැනීමටයි මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත්තේ.
මහා පරිමාණ මෝල් හිමියන්ගේ මේ මිල ගණන්වලට එකග නොවන බවයි සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ. ඒ අනුව මහා පරිමාණ මෝල් හිමියන් අසාධාරණ ලෙස නියම කළ මිල ගණන් සංශෝධනය කරන ලෙස එම සංගමය ප්‍රකාශ කරනවා.